ඡන්දෙට කෝටි 40 මුදලක් වියදම් කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරු ඒ ආකාරයේ පස් ගුණයක මුදලක් උපයා ගැනිමට උත්සහ ගන්නා බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
රණසිංහ මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රොෂාන් රණසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,
අපි ගෝඨාභය බලයට ගෙනාවේ දූෂණයෙන් තොර රටක් හදන්නයි. විවිධ අඩුපාඩු නිසා ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ කඩා වැටීමට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. අසූ අට අසූ නවය යුගයක් ඒකට වග කියන්න ඕන.මේ රට කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු විධායක ජනාධිපති ධූරය අහෝසිවිය යුතුමයි. කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි 40 වියදම් කරලා මොකටද පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ කියලා ඔබතුමා දන්නවා. ආපු වෙලාවේ ඉඳලා වියදම් කළා වගේ පස් ගුණයක් හම්බ කරන්න උත්සහ දරනවා. රට කඩා වැටීම ඒකෙ ප්‍රතිඵලයක්. ආසනයට වග කියන මන්ත්‍රීවරයකු හදන්න ඕන. රජය එක මැතිවරණයක් සඳහා කෝටි දාහක් වියදම් කරනවා. මේ මුදල් වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණද. විශ්ව විද්‍යාල පහළොවක් හදන්න තිබුණා. අපේක්ෂකයන් කොච්චර සල්ලියක් නාස්ති කරනවද.මේ මැතිවරණය සාධාරණද. මැතිවරණ කොමිසමම මුලින්ම අසාධාරණයක් කරනවා. අපේක්ෂකයන් තිස්නවයක් ඉද්දි අපේක්ෂකයන් හතර දෙනෙකුට පමණක් තැන් හතරකට ජනතාව ගෙන්වන්න අවස්ථාව දෙනවා. ඒකම අසාධාරණයක් නේ.මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙනකම් රට හදන්න බැහැ. පොල් ගහට දෙල් ගහ කියන ක්‍රමය නැවැත්විය යුතුයි. මේ මන්ත්‍රීවරුන් 225 දෙනා අද රූකඩ.මම ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරන්න.