පුවත්

පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනයක් 

Published

on

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

“ජලවිදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර විදුලි බිල තවත් අඩු කිරීම අපගේ අරමුණයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි,” යැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Trending

Exit mobile version