පුවත්

බදාගෙන සිපගත්තට HR මැනේජර්ට වසර 7ක සිර දඩුවමක්

Published

on

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබ සිට එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත්, සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නියෝගයේ දැක්වේ.

එසේම එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.

මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වැනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබිණි.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් මහාධිකරණ තීන්දුවේ එවකට සඳහන් විය.

මූලාශ්‍රය – මොණරා

Trending

Exit mobile version