පුවත්

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Published

on

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසයි.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් මෙහිදී සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 31 වැනි දිනෙන් සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාගේ ධුර කාලය අවසන් වූ අතර ඔහුගේ ධුර කාලය මේ වන විටත් අවස්ථා දෙකකදී දීර්ඝ කර ඇති බැවින්, පනත ප්‍රකාරව ඔහුව යළි නිලමේ තනතුරට නම් කිරීමට නොහැකි බවය.

මෙහිදී කුලය පිළිබඳ ප්‍රශ්නයක් තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී කුලය යන්න තමාට නිගමනය කළ නොහැකි කාරණයක් වන අතර තමන් කිසිදු ආකාරයකින් කුලය මත කටයුතු නොකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කලේය.

“සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර 2023 ජුලි මාසයෙන් අවසන් වුණා. පනතේ ප්‍රතිපාදන අනුව බස්නායක නිලමේතුමාට ඉල්ලන්න පුළුවන්. එම ඉල්ලීම සලකා බලලා, ජනාධිපතිතුමාට වසරක කාලයකට දීර්ඝ කරන්න පුළුවන්. වසරක කාලයකට දීර්ඝ කළා. 2024 ජුලි මාසය වෙනකල් දික් කරලා තිබුණා. ජනාධිපතිතුමාට තවත් එක වසරකට කාලය දික් කරන්න පුලුවන්. ඒ කාලයේ තිබුණු ඡන්ද වාතාවරණයත් එක්කලා, ගරු ජනාධිපතිතුමා තීරණය කළා මාස හයකට බස්නායක නිලමේ කාලය දීර්ඝ කරන්න. 2024 දෙසැම්බර් 31 දිනෙන් කාලය අවසාන වුණා. ජනාධිපතිතුමාට දීර්ඝ කරන්න පුළුවන් වෙන්නේ දෙවතාවක් විතරයි. උපරිම කාලය අවුරුදු දෙකයි. ඒ කාලයට තමයි දීර්ඝ කළේ. මේ ඉන්න නිලමේතුමා, මිගාර ජයසුන්තර මහත්තයා දෙවැනි කාලය අවසන් වෙනකොටත් කාලය තව තියෙනවානේ කියා ඉල්ලීමක් කළා. මට පනත ප්‍රකාරව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න බෑ. දෙපාරයි පුළුවන් දික් කරන්න. ඒ අනුව කීවා ඡන්දය තියන්න අවශ්‍ය වෙනවා කියලා. ඡන්දය තියන්න කටයුතු කළා. එතුමා ඉල්ලීමක් කළා වැඩබලන බස්නායක නිලමේ තනතුර දෙන්න කියලා. පිටිනුත් තවත් එක්කෙනෙක් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලපු පුද්ගලයා පිළිබඳ සොයා බැලුවාම ගැටලුවක් නෑ. පනතේ ප්‍රකාරව පත් කරන්න පුලුවන්. අවුරුදු 70 සම්පූර්ණ වෙලා තිබුණ නිසා, ආයේ සැරයක් ඉල්ලන්නත් බැරි නිසා එතුමාව පත් කරන එක හොඳයි කියලා හිතුවා. ඒ අනුව තමයි එතුමාව පත් කරන්න තීරණය කළේ.

31 වැනිදා එතුමාගේ ඉල්ලීම අනුව වැඩබලන බස්නායක නිලමේවරයා විදියට එතුමාව පත් කළා. ඒක පත් කරලා මම තීරණය කළා, ඡන්දය තියනකල්නේ පත් කරන්නේ. තව කෙනෙකු ස්ථීරව පත් කරගන්නකල්. පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනෑ කියලා හිතලා. පළවැනිදා පත්වීම දීලා තුන්වැනිදා වෙනකොට අපි කළේ, පත්තරේ දැන්වීමක් දැම්මා. මාසයක්වත් ඉන්න ඕනෑ දැන්වීම දාලා. අද දිනමිණ පත්තරේ දැන්වීම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව පෙබරවාරි 11 වැනිදා තෝරාගැනීමේ රැස්වීම සමන් දේවාලයේ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර තමයි එක එක කතන්දර එන්නේ. ඒවායේ පදනමක් තියෙනවාද කියන එක මට කියන්න බෑ. මේ පත්කිරීම කරලා තියෙන්නේ පනත ප්‍රකාරව ඉතාමත්ව වගකීමකින් යුක්තව කොමසාරිස් ජෙනරාල්වරයා විදියට. එතුමා හැත්තෑවක් වුණාට අපට පුළුවන් පත් කරන්න තාවකාලික නිසා. ස්ථීර පත්කිරීමක් කරනවා නම් 70ට උඩින් පත් කරන්න බෑ. වඩ කරන්න පුළුවන් කියා හිතෙනවා නම් සෞඛ්‍ය සහතිකයක් ගෙනල්ලා පත් කරන්න පුළුවන්. නිලමේවරුන් ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. තාවකාලික නිසා. මෙතුමාට ආයේ ඉල්ලන්න බෑ. එතුමා පත් කළාට පස්සේ ආයේ ඡන්දයක් ඉල්ලන්න බෑ. ඒ නිසා මම හිතුවා ඒක ස්වාධීන එකක් කියලා.”

Trending

Exit mobile version