ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු නවයක දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තාවක් නිකුත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (01) නියෝග කළේය.
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් ඉකුත් 26 වැනිදා මඩකලපුව රෝහලට ඇතුළත් කරන ලද හුණුක්යා ප්‍රසාන්ත් නමැති වයස අවුරුදු නමයයි මාස දහයක් වයස ඇති මෙම දරුවා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
දරුවාට වැලඳුණු උණ රෝගය හේතුවෙන් ඇගේ මව බෙහෙත් අධි මාත්‍රාවක් පානය කිරීමට සලස්වා ඇති බැවින් රෝහල්ගත කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයිද බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම දැරියගේ පියා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කරන අතර මඩකලපුව දුම්රියපොළ පාරේ ලිපිනයේ දරුවා සහ ඇගේ මව ජීවත්වී තිබූ බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඊයේ (01) පෙරවරුවේ ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝග නිකුත් කර ඇත.
දැරියගේ දේහය මඩකලපුව දුම්රියපොළ පාරේ පිහිටි සුසාන භූමියේ භූමදානය කරන ලෙසට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා දේහය මවුපියන්ට භාර දීමට නියෝග කළේය.
(දිනමිණ)