පුවත්

වාහන ආනයන බදු ඉහල දැමීමේ තීන්දුවක්; ටොයෝටා RAIZE ලක්ෂ 170ට නගියි

Published

on

ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති.

වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

එන්ජින් ධාරිතාව අනුව ආනයනික වාහනවලට බදු පැනවීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ.

මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. 

ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි.

කෙසේ නමුත්, මෙම පුවත්පත් දැන්වීම්වල පළකර තිබෙන මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනයනකරුවෝ කියා සිටිති. 

මේ අනුව, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. 

BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. 

එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් තිබේ. 

එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බව පැවසේ.

කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්

Trending

Exit mobile version