ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් නියෝග කරන ලදී.
මෙම නඩුව අද (27) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවීම සිදුවිය.
දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේ, තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බවය.
ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවන ලදී.
එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව, අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කලේය.
අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.