පැමිණිල්ලක් විභාග කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය විදුහල්පතිනියකට පොලිස් ස්ථානය තුළදී සිය රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයකු වන වන කෝට්ටේ ගමගේ ඩෙන්සිල් පද්මසිරිව අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27) නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිසිය සඳහන් කළේ නාවල ප්රදේශයේ පාසලක් අපකීර්තියට පත් කරමින් වට්ස්ඇප් ගිණුමක් මඟින් ප්රවෘත්ති පළ කිරීමක් සම්බන්ධයෙන් 2023/03/23 දින පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවයි.
අදාළ පැමිණිල්ල විභාග කිරීමට විදුහල්පති මව්පියන් ගුරුවරුන් ඇතුළු පස් හය දෙනකු හා සැකකාර නාගරික මන්ත්රීවරයාද පොලිසියට කැඳවා සමථ කොට අවවාද කර මුදාහළ බව සඳහන් කළ පොලිසිය පොලිසියේ ආපනශාලාව අසලදී සැකකාර මන්ත්රීවරයා විදුහල්පතිනියට සිය කලිසමේ සිපරය ගලවා ලිංගේන්ද්රය පෙන්වා ඇති බවද අධිකරණයට දන්වා සිටියේය.
මේ සිද්ධිය ගුරුවරුන් විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති අතර, ඒ ක්රියාව සම්බන්ධයෙන්ද වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවට පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
එකී සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීමට පැමිණෙන ලෙසට නාගරික මන්ත්රීවරයාට කීප වරක් දැන් වුවද ඔහු පොලිසිය මඟ හැර සිටි බවත් ඊයේ (27) සැකකරු පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය.
මන්ත්රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මේ වීඩියෝ දර්ශන සංස්කරණය කරන ලද ඒවා බවයි.
අදාළ දර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ගුරුවරුන් සතු ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය වෙත යොමු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ප්රසිද්ධ ස්ථානයක් වන පොලිස් ස්ථානය තුළදී ලිංගික අතවර කිරීම හා රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ නාගරික මන්ත්රීවරයා ට එරෙහිව චෝදනා ගොනු කළ බවද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකාර මන්ත්රීවරයා අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සබැඳි පුවත්
විදුහල්පතිනියට පොලිසියේදී රහසඟ පෙන්නූ පොහොට්ටු මන්ත්රී අත්අඩංගුවට