පුවත්

විදේශ සේවා දත්ත පද්ධතිය මැලේසියානු සමාගමකට

Published

on


නීතිපති නියෝග හා මුදල් අමාත්‍යාංශ කොන්දේසි නොතකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා අසාදු ලේඛනගත වූ මැලේසියානු සමාගමකට වසර 15 කට පැවැරීමට හදිසියේ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වීමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විරෝධය පළකර ඇත.

මෙම ගිවිසුම් සඳහා අත්සන් කිරීමට අද (12 වැනිදා) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉහළ කළමනාකාරිත්වයට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවැසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාව සංශෝධනය කරන ලෙස නීතිපති හා මුදල් අමාත්‍යාංශය දමන ලද කොන්දේසි නොතකා මෙම ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මෙම සංශෝධන නොකර රටට අවාසිදායක ලෙස වසර පහළොවකට මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් සහ රැකියා ඒජන්සිවල සියලු දත්ත මැලේසියානු සමාගමකට පැවැරීම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

මෙම සමාගමට පැවැරීම සඳහා වූ ටෙන්ඩරයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා උල්ලංඝනය කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු නොමැතිව ටෙන්ඩරය ලබා දී ඇති බවත් නිලධාරීහු පෙන්වා දෙති.

මෙම ගිවිසුමට අත්සන් තබා ඊට වගකිව යුතු නිලධාරින් දෙදෙනකු රටින් පැනීමේ සූදානමක් ඇති බවත්, මෙම ගිවිසුම් නීති විරෝධී ලෙස අත්සන් කළහොත් නීති මගට යන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් අරුණට පෙන්වා දුන්නේය.

(අරුණ)

Trending

Exit mobile version