පුවත්

ශෂි වීරවංශට එරෙහි නඩුව නැවත කල් යයි

Published

on

නීතියට පටහැනි ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂි වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 28 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කර තිබේ.

මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

මෙම නඩුවට සමාන නඩුවක් වෙනත් අධිකරණයකද ගොනුකර තිබූ බැවින් එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරිය නොහැකි බවයි එම මූලික විරෝධතාව තුළින් පෙන්වා දී තිබුණි.

එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සඳහන් කළේ, මෙම නඩුව වෙනත් කරුණක් පදනම් කරගෙන ගොනුකර ඇති නිසා එය විභාග කිරීමට අධිකරණයට බලය තිබෙන බවය.

ඒ අනුව, අද දින තීරණය ප්‍රකාශයට පත් කළ අධිකරණය, විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර තිබේ.

එම නඩුව ජනවාරි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ අධිකරණය, එදින සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියම කර ඇත.

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Trending

Exit mobile version