Connect with us

පුවත්

“අභියෝගවලට මුහුණදීමට ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අවශ්‍යයි”

Published

on

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය විසින් සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකේය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තව දුරටත් ඒ සඳහා ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා G-24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් පවසා සිටියේය.

අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති අතර අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ඍජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබා ගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමු කිරීමේ ක්‍රියාවලියක රජය දැන් නිරතව සිටීන බවයි. 

තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි සමුළුවල වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහයෝගය සමග ලෝකයේ හොඳම භාවිතයන් අනුගමනය කිරීමට රජය කටයුතු කරන බවයි.  

මේ අතර අමාත්‍යවරයා ජෛව විවිධත්ව මූල්‍ය සංසදයේදී අදහස් දැක්වු අතර COP 27 හි දී දියත් කරන ලද දේශගුණික සෞභාග්‍ය සැලැස්මට අනුව රටේ ප්‍රමුඛතා සහ ඉදිරි ගමන සම්බන්ධවයෙන් එහි දී අදහස් පළ කළේ ය. 

2030 වන විට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 35% සිට 70% දක්වා ඉහළ නැංවීමේ ශ්‍රි ලංකාවේ ඉලක්කය බව එහි දී පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ශුන්‍ය කාබන් ආර්ථිකයක් බවට පත් කිරීමට රටේ සැලැස්ම සකසන බවත්, ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැලැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දැනටමත් වැඩ කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා විසින් වැඩි දුරටත් සඳහන් කරන ලදී.

පුවත්

රුසියාවට සෙබළු යැවූ අයෙක් දෙහිවලදී අත්අඩංගුවට

Published

on

By

විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සෙබළු සංචාරක වීසා මත රුසියාව සහ යුක්රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (මැයි 20) අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේ ය.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සංචාරක වීසා මත රුසියාවට පුද්ගලයන් 120 දෙනෙකු පමණ යැවූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඊට සැකපිට අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සැකකාර පුද්ගලයා රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිට සංචාරක වීසා මත රුසියාව සඳහා යාමට පුද්ගලයන්ට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය” විසින් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දිනයේ (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ” අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

Continue Reading

පුවත්

කළුතර වෙඩි තැබිමක්

Published

on

By

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ.

කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසකට ඇතුළු වී එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි තස්මින් මදුවන්ත සිල්වා නමැති කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.

පොලීසිය සඳහන් කලේ අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබෙන බවය.

ටී – 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

Continue Reading

පුවත්

වෙසක් සතිය ඇරැඹෙයි

Published

on

By

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අද (21) ආරම්භ වේ.

අද (21) සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශිත අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

23 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතය.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ.

23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය ද සිදුවේ. විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරේ.

රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන අද (21) පස්වරු 2.00ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාවන් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මැති ඇමැතිවරු සහභාගි වෙති.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාර 22ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ද රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන 05ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.6ක් ද ආපදාවට ලක්වූ විහාරස්ථාන 03ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 0.4ක් ද දහම් පාසල් 12ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5ක් ද බුද්ධශාසන අරමුදල යටතේ දුෂ්කර විහාරස්ථාන 32ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 32ක් ද වෙන් කර තිබේ. මෙම සම්පූර්ණ ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 26.6කි. මීට සමගාමීව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 25කට වැඩි ප්‍රමාණයක සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කර තිබේ. වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා භක්ති ගීත වැඩසටහන්, වෙසක් කලාප, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved