Connect with us

පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක

Published

on

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.  

2017 වසරේදී රුපියල් මිලියන 2.1 ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් අනාවරණය විය. ඒ සදහා මැදිහත්වූ නිලධාරීන්ද මේවන විට ස්ථාන මාරු ලබා ඇති බව ද අනාවරණය විය. මෙවැනි ආයතනවල ඇතැම්පිරිස් කැමරා උපකරණ සවිකිරීමට අකමැත්තක් පළ කරන බවද පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත් මැයි 15ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නේය. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය. 

ගුවන්තොටුපළ ඊගේට් (E-gate) පහසුකමට අදාළ උපාංග  මිලදී ගැනීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය  විසින් දැනුම් දී තිබුණද  තවමත් ඒ සදහා පියවර නොගැනීම නිසා සමස්ත ඊගේට් පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම පිළිබඳව  කාරක සභාවේ බලවත් අප්‍රසාදය මෙහිදී පළ විය. ඒ අනුව මෙහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබන අප්‍රේල් 15 වැනිදාට පෙර ලබා දෙන ලෙස ද දැනුම් දුන්නේය. ගුවන් තොටුපළ තදබදය අවම කිරීම සදහා ස්වයං පරීක්ෂාවන් කිරීම ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී. 

විද්‍යුත් ගමන් බලපත්‍රය (E-Passport) නිකුත් කිරීම වසර 4ක් මුළුල්ලේ ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසූහ. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කළේය. 

ගුවන් තොටුපළ රාජකාරී කටයුතු කාර්යක්ෂමකව සිදු කිරීම සදහා රාත්‍රී කාලයන්හීදී ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව කාර්යබහුල වේලාවන්හි වැඩි වශයෙන් ඵලදායි ලෙස නිලධාරීන් යෙදවීමට සැලැස්මක් සකස් කරන ලෙසත් එය අප්‍රේල් 15ට පෙර කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදු විය.

මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ ඇති බව නිලධාරීන් පැවසූහ. ඒ සදහා බලපාන නිර්නායක පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ලංකාව ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙනඒම සදහා වැඩපිළිවෙලක් සකස්කොට කාරක සභාව දැනුවත් කරන ලෙස ද කෝපා සභාපතිවරයා දැනුම්දෙන ලදී.

ප්‍රාදේශීය කාර්යාල මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම නිසා  ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ඇතුළු අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ධාරිතාව වැඩි කිරීම සදහා නිවැරදි යාන්ත්‍රණයක් සකස් කොට ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.  

රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාරවල නිරත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටලු පවතින බව නිලධාරීහු පැවසුහ. මේ අනුව මේ සම්බන්ධ තොරතුරු ලබා දීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දී ජනතාවගේ සහය ලබා ගැනීමේ වැදගත්කම ද  මෙහිද පෙන්වා දෙන ලදී. 

පුවත්

සා / පෙළට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක්

Published

on

By

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

“සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි.”

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Continue Reading

පුවත්

මැතිවරණයට පෙර විසඳිය යුතු දේ ගැන ජනපති හා පක්ෂ නායකයින්ට ලිපියක්

Published

on

By

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අද (21) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔවුන් තම ඉල්ලීම ලෙස ජනාධිපතිතුමන් ඇතුළු සියලුම පක්ෂ නායකයින්ගෙන් ආයාචනා කර සිටින්නේ මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන ලෙසය.

එමෙන්ම රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත් ඒකාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතු බව ඔවුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලබයි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20) පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

අද (21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී ඇත.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved