පුවත්

කතානායක චෝදනාවලට උත්තර බදියි

Published

on

කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව කතානායක කාර්යාලය පවසයි.

කතානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ භාවිත නොකරන බවත් කතානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ කතානායක කාර්යාලයේදී පවත්වන බවත් සදහන් කරයි

එම කාර්යාලය මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කතානායකවරයාගේම යෝජනාවකට අනුව කතානායකවරයාට ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි. තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්,සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.

තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන් ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. කථානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි. එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Trending

Exit mobile version