පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු යළි රිමාන්ඩ්

Published

on

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.

රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට ඉදිරිපත් කළාය.

සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් බන්ධනාගාරය තුළදී මෙම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

Trending

Exit mobile version