අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට කිසිඳු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදු කිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කලේය.
මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාල පෙත්සම ජුනි මස 12 වනදා විභාගයට ගන්නා බවය.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් විසිනි.
පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටින්නේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතු වලට බාධා සිදු කරන බවය.
මෙම ඉදිකිරීම් සිදු කරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත්, එහි කටයුතු වලට මැදිහත් වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් පෙත්සම්කරු සඳහන් කලේය.
මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර තිබේ.