Connect with us

පුවත්

ජනපති – ජයිකා සභාපති හමුවේ

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිකෝ මහතාගේ ඇගයීමට ලක් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ  ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ආචාර්ය අකිහිකෝ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති  ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

NEMIS ගැන  COPA අවධානය

Published

on

By

2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වීම සිදුවිය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමාන කාර්යසාධනය පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබේ.

මෙම දත්ත පද්ධතිය පිළිබඳ වසර 4ක සිට කමිටුව හමුවේ සාකච්ඡා කළද තවමත් එය අපේක්ෂිත මට්ටමට ලඟා නොවීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය පළවිය.

විශේෂයෙන්ම පාසැල් පද්ධතිය පිළිබඳ අවශ්‍ය දත්ත නිවැරදිව මෙම දත්ත පද්ධතිය සතුව නොපැවතීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු විසින් පෙන්වා දෙන ලදී.

එසේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික දත්ත නිවැරදිව පැවතීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

2008/37 දරන චක්‍රලේඛයට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ කමිටු අනුමතියකින් තොරව පාසල්වල පන්ති සංඛ්‍යාව වෙනස් නොකළ යුතු වුවද අමාත්‍යාංශයේ අනුමතිය නොමැතිව පැසැල් 29ක විදුහල්පතිවරුන් තම කැමැත්ත අනුව අතරමැදි පන්ති සඳහා නව පන්ති ආරම්භ කර තිබීම පිළිබඳ මෙහිදී අවධානයට යොමු විය. මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මැයි මස 17 දිනට ප්‍රථම මෙම කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

තවද පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ අඩුවක් පවතින්නේද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මේ පිළිබඳ පසුගිය වසර 20ක තොරතුරු ඇතුළත් වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාවට ලබාදීමට නිර්දේශ කළේය.

එසේම   2022 ජුනි 06 දිනැති අංක ED/1/6/1/10/2022 දරන ජාතික පාසල් අධ්‍යක්ෂකගේ ලිපියක් මගින් රටතුළ පැවති අසීරු වාතාවරණය තුළ ආර්ථික අපහසුතා සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සිසුන් පදිංචියට ආසන්න පාසල් වෙත සිසුන් තාවකාලිකව ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති බව පෙන්වා දුන් කාරක සභාව විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට මේ සම්බන්ධ තීරණයක් ගන්නා ලෙස නිලධාරීන්ට නිර්දේශ කළේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු උපදේශක සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩම්ගොඩ, මධුර විතානගේ, (ආචාර්ය) හරි නි අමරසූරිය, මුදිතා ප්‍රිශාන්ති, (මේජර්)  ප්‍රදීප් උඳුගොඩ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

ගමේ ආර්ථිකය දියුණු කරන්න කැපවෙන්න- ජනාධිපති

Published

on

By

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කරන ලදී.

සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය සිදුවිය.

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

Continue Reading

පුවත්

හිරුණිකාට එරෙහි පැමිණිල්ලට  අභියාචනාධිකරණයෙන් නියෝග

Published

on

By

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී.

මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කළේය.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved