පුවත්

ඥානසාර හිමිට ලක්ෂ 3ක දඩයක්

Published

on

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 11 කට අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු:300,000/- ක දඩයක් නියම කර තිබේ.

ඒ 2014/04/09 දින කොළඹ හෝටලයක පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාවකට වරදකරුවන් කරමිනි.

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014 වසරේ අප්‍රේල් මස 09 දා කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ඊට බලහත්කාරයෙන් ඇතුළු වී අදහස් පළකරන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිවිරෝධී අයුරින් ඇතුලුවී සාපරාධී බලහත්කාරකමක් පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුලු චෝදනා කිහිපයක් මොවුන්ට එල්ලවී තිබුණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විවෘත අධිකරණයේ වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවේය.

අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කරමින් සමථ වීමට මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම අවසර ලබාදී තිබේ.

සිද්ධියට අදාළව ඇප ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අමතරව පූජ්‍ය විතාරණදෙණියේ නන්ද හිමියන් හා පූජ්‍ය වැලිමඩ චන්දරතන හිමියන් ඇතුලු පිරිසක් විවෘත අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.

Trending

Exit mobile version