පුවත්

දින තුනෙන් නිවසටම පාස්පෝට් එක එන ක්‍රමවේදය ජුනි සිට

Published

on

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සදහා නීතිවිරෝධී ආකාරයට තැරැව්කරුවන් මැදිහත් වන බවට අනාවරණය වීමත් සමඟ එවන් නීතිවිරෝධි කටයුතු වැළක්වීම සඳහා මෙම වැඩසටහන ජුනි මස තුළදී ජනගත කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකි වේ.

මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදුකෙරේ.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඉලුක්පිටිය මහතා මෙසේද පවසා ඇත :

අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය දින 03කින් ද, සති 02ක සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ද යන්න සළකුණු කළයුතුයි.

මෙම ක්‍රියාවලියෙන් පසුව තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇඟිලි සළකුණ ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් සිදු කළයුතුයි.

යම් අයෙකුට අදාළ ක්‍රියාවලිය නිවසේ දී කර ගැනීමට නොහැකිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු ඉටු කරගත හැකියි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇගිලි සළකුණු ලබාදීමෙන් අනතුරුව යම් අයෙකුට මාර්ගගත පහසුකම යටතේ අදාළ ගෙවීම් කළ නොහැකි නම් ඒ සඳහාද පහසුකම් සළසා තිබෙනවා. ඇගිලි සළකුණු ලබාදීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  සෑම අයඳුම්කරුවෙකු සඳහාම අංකයක් ලබා දෙන අතර එම අංකය ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කළ විට බැංකුව එම මුදල් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන අතර, මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති ආකාරයට කොළඹ නගරය තුළ අයදුම්කරුවන් වෙනුවෙන් දින 02ක් තුළ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ලැබීමට සලස්වන  අතර ඉන් පරිභාහිර අයඳුම්කරුවන් සදහා දින 03කින් තමන්ගේ නිවසටම විදේශ ගමන් බලපත්‍රය ලබා දෙනු ඇත.

Trending

Exit mobile version