Connect with us

පුවත්

ද. ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ළඟදීම සම්මත කරනවා – ජනපති

Published

on

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය :

“අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම අවස්ථාවට එක්වන ලෙස මම ඔබගෙන් ඉලීමක් කළා.”

“අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න.”

“එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින්  රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.”

“මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා. මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා.” 

“ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.”

“අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න. මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි.  අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.”

“මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි.”

“අප මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෑම පක්ෂයකම සහාය ලබා ගන්නයි. කාටවත්ම මේකට විරුද්ධ වෙන්නත් බැහැ. අලුත් නීති කිහිපක් ගෙන ඒමටත් තිබෙනවා. නව පියවර ගණනාවක් අපි අරන් තිබෙනවා.”

“මාධ්‍ය මර්දනය කරන්න අපට වුවමනා නැහැ. මාධ්‍යයෙන් වැඩියෙන්ම බැනුම් අහන්නෙත් මම. මාධ්‍යය නැති වුණෙත් මටයි. මාධ්‍ය සඳහා පනවා තිබූ අපරාධ නීතිය ඉවත් කළෙත් මමයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දුන්නෙත් මමයි. ස්වාධීන කොමිෂන් සභා තුන් වතාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඉතිං කොහොමද මම මාධ්‍ය මර්දනය කරන්නෙ.”

“ජාතික ප්‍රශ්නය විසඳන්න කියනවා. නමුත් මම ඒ කටයුතු සිදු කරද්දි  සුමන්තිරන් මන්ත්‍රීතුමා සමඟ එකතු වෙලා අනික් ප්‍රශ්න නැති කරන්න හදනවා කියලා චෝදනා කරනවා. එසේ චෝදනා කිරීම සුදුසු නැහැ කියා මාධ්‍යවල කවුරුත් කිව්වෙ නැහැ. ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව මම කලින් කියලා තිබෙනවා. ඒකට කිසිම මාධ්‍යයක් විරුද්ධ වුණේ නැහැ. ඒ සඳහා සියලුම දෙනා පාර්ලිමේන්තුවේදී එකඟ වුණා.  ඒක මුවාවෙන් ජාතිවාදය ඇති කරන්න එපා.”

පුවත්

ඉරාන තානාපති කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලකදී ආරවුලක පැටලෙයි

Published

on

By

ඉරාන තානාපති ආචාර්ය  ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට  රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස  පලායාමට උත්සාහ දරන මෝටර් රථයේ බොනොට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇත.

 එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා  මීටර් 15ක්දි පමණ ඉදිරියට රිය  ධාවනය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි. වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

මුදල් හා රන්බඩු කොල්ල කන්න පවුලක්ම මරලා!

Published

on

By

බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයේ වැඩ බැලීමට විදේශ සේවයේ විශ්‍රාමිකයකු යවයි

Published

on

By

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවමත් හිස්ව පැවතීම නිසා නව තානාපතිවරයකු පත් කරන තුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තානාපති කාර්යාලයේ වැඩ බැලීමට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මාධ්‍යට පවසා ඇත්තේ, තානාපතිවරයෙකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටියේ පරතරයක් පමණක් බවත්, රුසියාවේ පවතින විශේෂ තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවයි.

මෙසේ යවන්නේ විශ්‍රාමික විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයකු බවත්, දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එහි දැනටමත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවත්, සිදුවෙමින් පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු යවන්නේ දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන නිසා නොවන බවද ඔහු කියා සිටී.

මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ප්‍රොටෝකෝලය අනුව කටයුතු සිදුවන බවද බාලසූරිය මහතා අවධාරණය කර ඇත.

කෙසේවුවද, රුසියාවට තානාපතිවරයකු පත් කර ඇතත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යට හෙළි නොකිරීමට ද බාලසූරිය මහතා කටයුතු කර තිබේ.

රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියට සේවා දිග තුනක් ලබාදී තිබුණු අතර, ඇය පසුගිය අප්‍රේල් 29 වැනිදා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කර ඇත.

වර්තමානයේ, රුවිනි කේ. මුනිදාස මහත්මිය තානාපති කාර්යාලයේ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved