පුවත්

පුංචි ව්‍යාපාරිකයන් 200 ක් ඇප රහිත ණය අරන්

Published

on

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබේ.

මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවූයේ පසුගිය මස 6 වැනිදා ය. මාසයක පමණ කාලයක දී මෙතරම් පිරිසකට ණය ලබාදීමට හැකිවීමෙන් ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි වෙයි. ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි. ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇතැයි ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරයි.

Trending

Exit mobile version