පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Trending

Exit mobile version