Connect with us

පුවත්

මෙරටට බාපු කුණු මාළු කන්ටේනර් 102 ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදී. 

එසේම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙ‍ෙහයවන ලෙසටත් එම අවස්ථාවට සහභාගී වූ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීම සිදු විය.  

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ නරක්වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 20දා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102 ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්වී ඇත. නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළගා වී ඇති අතර නැවෙහි අළුත්වැඩියා කටයුතු නිමවී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇතිවී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා මෙහිදී කරුණු දක්වා සිටියේය.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබා දීම සිදු කළද මෙරට රේගු ආඥා පනතට අනුව “පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙන සුළු මාළුවර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සදහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහඟත බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම නරක්වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැනි  බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවෙක් ආනයනයකරුවෙක් ලෙස යොදා ගනිමින් නව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදු කිරීම වංචාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සදහන්ව ඇති බවත් එය නැව වරායට පැමිණි 2022.01.13ට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.  

කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්තුමිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත් ආනයන හා අපනයන පාලන පනත  අනුව අදාළ අවසරය හිමි වූ බවත්ය.

බහාලුම් 102න් 4 ක් විනාශ කිරීමට ලක් කළ බවත් ඉතිරි 98න් 43 ක් පොහොර නිපදවීම සදහා යොදා ගත් බවත් තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත් තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහිදී අනාවරණය විය. 2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින්   අධික දුගද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බව සාකච්ඡා විය.

එසේම පොහොර සෑදීම සදහා මෙම මාළු තොගය ලබා ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පැවසීය. කෙසේවෙතත් ‍ඒ සම්බන්ධයේ පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත්  එසේ සැමන් සෑදීම සදහා මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

නැවක් ආපදාවට ලක්වූ  විට උපකාර කිරීම කිසිදු ගැටලුවක් නැති වුවද මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නොවන බවට පැහැදිළි වන බව කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.  කිසිවකුත් ‍ගැනීමට අකමැති වූ නරක් වූ මාළු තොගයක් රටතුළට ගැනීම බරපතල තත්ත්වයක් බවත් පරිසරයට හා ජීවිතවලට තර්ජනයක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම  මිනිස් පරිභෝජනයට මෙම මාළු යොදාගෙන ඇත්තේද යන්න පිළිබඳවත් සැකයක් මතුවන බවත් එසේම මෙම සමස්ත ක්‍රියාවලියේම  ගැටලු රැසක් නිරීක්ෂණය වන බවත් ගරු ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම සිද්ධියට අදාළව අදාළ සියලු ආයතනවලින් සමන්විත කමිටුවක් පත් කර කොපමණ පොහොර ප්‍රමාණයක් නිපදවා ඇත්දැයි ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කර වාර්තා කරන ලෙස මීට පෙර 2024.01.23 දින පැවති කෝපා කමි‍ටුවේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට  නිර්දේශ කර තිබුණද එම කමිටුව පත් කර ඇත්තේ මෙම රැස්වීමට කැඳවීමේ ලිපි ලැබීමෙන් පසු බවත් මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳව කමිටු සභාපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය.

එසේම මෙම සමස්ත ක්‍රියාදාමය විමර්ශනයේදී  කන්ටේනර් මෙරටට ගැනීම සදහා ඉතා උනන්දුවකින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන බවත් එම උනන්දුව අනෙකුත් කටයුතු සදහාද තිබිය යුතු බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.  

රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඉසුරු දොඩන්ගොඩ, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශ, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ඩයනාගේ තීන්දුව ගැන ප්‍රතිභා කතාකරයි

Published

on

By

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක්කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ, ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ලබාදුන් නඩු තීන්දුවක් බැවින් එය පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක් කළ හැකි බවය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) නියෝග කරන ලදී

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අදාළ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කලේ,

“මෙතුමියට තව එක අවස්ථාවක් තියෙනවා. මෙතුමියට පුළුවන් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටින්න. මොකද මෙය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් ලබාදීලා තියෙන්නේ. එතකොට එවැනි තීරණයක් අභියෝගයකට ලක්කරන්න පුළුවන් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට. ඒ අවස්ථාව ඇයට තාම තියෙනවා. හැබැයි ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් දැන්වුවහොත් මැතිවරණ කොමිසමට ඒ පක්ෂයේ ඕනෑම අයෙකුට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් ඉස්සර වෙයිද කියලා අපි බලන්න ඕනේ.”

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවත් සමග ඩයනා ගමගේ මහත්මිය යටතේ ලියාපදිංචි වී ඇති සමගි ජනබලවේගය පක්ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ද ප්‍රතිභා මහනාමහේවා මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

“මේ පක්ෂය දැනට ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට මේ පක්ෂයේ සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම්, පක්ෂ නායකයෙක් ඉන්නවා. ඊළඟට එන ප්‍රශ්නය පක්ෂය ලියාපදිංචියත් නීතිවිරෝධී ද කියන එක. එහෙම ලියාපදිංචිය අභියෝගයට ලක්කිරීමට නම් තවත් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මේක ඉදිරියට තවත් නඩුවක් ලෙස ගෙන ආ යුතුයි. මේ මන්ත්‍රීවරිය අවුරුදු 4ක් වැටුප් අරන් තියෙනවා. එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවී වංචා සහගත ලෙස වැටුප් අරන් තියෙනවා නේ. එතකොට ඒවත් අය කරගන්න ඕනේ. එතකොට ඒවා වෙනම නඩුවකින් එන්න ඕනේ. මේ අභියාචන පෙත්සමේ සහනය ලබාදීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඉදිරි දේවල් වෙනම බලාගන්න වෙනවා.”

Continue Reading

ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Continue Reading

පුවත්

රේගුවේ හිරවුන ලක්ෂ 15ක දුම්වැටි

Published

on

By

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 කි.  මෙයින් පළමු වැටලීම ඕමානයේ මස්කට් නුවර සිට  ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට , පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි .

ඔහු සිය ගමන් මලු වල රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

ඊට අමතරව කොළඹ – 14 , නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණ තිබූ අතර , ඔහුගේ ගමන් මලු  අතපසු වී  ගුවන් තොටුපොළ තුළ දමා ගොස් තිබුණි .

ඔහු එම ගමන් මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , රැගෙන යමින් සිටියදී , ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා  විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32 සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved