පුවත්

රනිල්ගේ IMF ලියුමට විපක්ෂයේ 15ක් සහය දෙන්න කැමතිවෙලා!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම සහ රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් මෙම කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාලිගාවත්තේදී පැවැති එක්සත් ජාතික පක්ෂ‍ මැයි දින සැමරුම් උළෙලේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එයට සහාය දෙන්නැයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයට ආරාධනා කළේය.

විපක්ෂය මෙයට විරුද්ධ වුවද එයට සහාය ලබාගැනීමේ අරමුණෙන් විපක්ෂයේ මන්ත්‍රිවරු සමග ආණ්ඩුවේ මන්ත්‍රිවරු සාකච්ඡා කර තිබිණි. ඒ අනුව මෙය ජාතික වශයෙන් වැදගත් කෙටුම්පතක් ලෙස සලකා එයට කැමැත්ත පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රිවරු 10ත් 15ත් අතර පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. 

එම මන්ත්‍රිවරු පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කර ඇත. 

මේ පිරිස ඉකුත් මැයි 1 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීමට සූදානමින් සිටියද එය ජනාධිපතිවරයා විසින් වළක්වා තිබිණි. 

කෙසේ වෙතත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එයට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 15ක් පමණ දැඩි තීරණයක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ මහත්මිය මීට දෙසතියකට පමණ ඉහතදී මාධ්‍ය වෙත කියා තිබුණි. 

තලතා අතුකෝරාළ, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රිවරු රැසක් මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළියටද එක්ව නොසිටීමද කැපී පෙනුණි.

Trending

Exit mobile version