රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය ජර්මන් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ ඇති බවද පැවසේ.
ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබාගෙන ඇත.
තත්ත්වය එසේ තිබියදී එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.