පුවත්

ලොකුම බිස්නස් කාරයා ඇතුළු බිස්නස්කාරයෝ 32ක් පාර්ලිමේන්තුවේ

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රි දෙසිය විසිපස්දෙනා අතරින් තිස් දෙදෙනකු ව්‍යාපාරිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ පෞද්ගලික තොරතුරුවල සඳහන් වේ.

එම තිස්දෙනා අතර ශ්‍රීලාංකේය ප්‍රමුඛතම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා ද සිටීම විශේෂිතය.

සිය රැකියාව ලෙස මන්ත්‍රින් බහුතරයක් සඳහන් කර ඇත්තේ නීතිඥ යනුවෙනි. 

දෙසිය විසිපහ අතරින් තිස් අටදෙනෙක් නීතිඥයන් වන අතර ඒ අතරට ජනපති නීතිඥවරු හතරදෙනෙක් හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ද සිටිති. 

එම විනිසුරුවරයා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන්ය.

වෛද්‍යවරු දහ දෙනෙක්, ඉංජිනේරුවෝ හයදෙනෙක් ද මේ පාර්ලිමේන්තුවේ සිටිති. 

වෛද්‍යවරු දහතුන් දෙනා අතරට ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් හා වයිරස්වේදය පිළිබඳ මහාචාර්යවරයෙක් අයත්ය. 

පිළිවෙළින් ඔවුන් දෙදෙනා වන්නේ චන්න ජයසුමන හා තිස්ස විතාරණ යන මත්වරුන්ය.

සිය වෘත්තිය පුවත්පත්කලාවේදී ලෙස සඳහන් කරන තිදෙනෙක් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙක්ද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරති.

පුවත්පත්කලාව සිය රැකියාව ලෙස සඳහන් කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම, මනුෂ නානායක්කාර හා බුද්ධික පතිරණ යන මන්ත්‍රීන් තිදෙනාය.

කෙසේවුවද, ඩලස් හැරෙන්නට මනූෂ හා බුද්ධික රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කළ මාධ්‍යවේදීන්ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ දාහතර දෙනෙක්ද මන්ත්‍රින් අතර සිටිති. 

ඉන් බහුතරයක් මන්ත්‍රී වීමට පෙර ගුරු වෘත්තියේ යෙදුනු අය වෙති.

විශ්වවිද්‍යාලවල ඉගැන්වූ මහාචාර්යවරු පස්දෙනෙක් ද පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන් අතරින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකි. 

ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කිහිපදෙනෙක් ඔහුගේ සිසුහු වෙති.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, චමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රින් හයදෙනෙක් සිය රැකියාව ලෙස සඳහන් කර ඇත්තේ වැවිලිකරු ලෙසය.

සංස්කෘතික හා බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායක පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්‌යේෂාණාගාරයේ සේවය කළ කෘෂි විද්‍යාඥයකි. 

කෙසේ නමුදු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සිය රැකියාව ලෙස පාර්ලිමේන්තුවට දී ඇති තොරතුරුවල සඳහන්ව ඇත්තේ ද කෘෂි විද්‍යාඥ ලෙසය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version