Connect with us

පුවත්

ෂාෆ්ටර් ඝාතනය කළේ හතුරෙක් නෙවෙයි මිතුරෙක් !

Published

on

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට සැක මතුව තිබේ.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් මහත්මියගෙන් පළමු වරට ඊයේ (19) පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

එසේම, ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථයේ තිබී සොයා ගත් ඇඟිලි සලකුණු වාර්තාව අද (20) ලැබීමට නියමිත බැවින් එම ඇඟිලි සලකුණු සැකකරුවන් හා සසැඳෙන්නේ දැයි සොයා බැලීමට ද නියමිතය.

බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් රථය කෙළින්ම බොරැල්ල කනත්තට පැමිණීම කෙරෙහි මෙන්ම දුරකතන විශ්ලේෂණවලින් මතුවී ඇති කරුණු මෙම සැකයට මුල්වී ඇත.

පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මෙහිදී විමර්ශකයන්ගේ සැකයට භාජනය වී ඇති අතර, ඔවුන්ගේ පෙර සහ පසු හැසිරීම් දැඩි නිරීක්ෂණයට ලක් කරමින් ඒ අයගේ ද ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට යොමුකර ඇති බව වාර්තා වේ.

බොරැල්ල පොදු සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය ඇතුළු කර එම මෝටර් රථය නතර කර තිබුණු ස්ථානය ගැන විමසිලිමත්වීමේදී මෝටර් රථය පදවාගෙන පැමිණි අය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතුළත ඇති මාර්ග ගැන හොඳ අවබෝධයකින් සිටින අයෙක් බවද හෙළිව තිබේ.

එවන් අවබෝධයක් ලැබීමට නම් සුසාන භූමියට අවස්ථා කිහිපයක පැමිණ තිබිය යුතු බවත් දිනේෂ් ෂාෆ්ටර් මහතා විසින් සිය මෝටර් රථය නිවසේ සිට දිගටම සුසාන භූමිය වෙත පදවාගෙන පැමිණ තිබේ නම් ඔහු බොරැල්ල සුසාන භූමියට පැමිණි පළමු අවස්ථාව නොවන බව මේ අනුව තහවුරුව ඇත.

සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගත් පුද්ගලයා ඔහුව එහි ගෙන්වාගෙන ඇත්තේම ඔහුව මරා දැමීමේ සැලසුම ඇතිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට පෙනී ගොස් ඇත.

මෙම ඝාතනය ක්ෂණික කෝපය හෝ ක්ෂණිකව ඇති වූ යම් සිදුවීමක් මත වූවක් නොවන බව ද විමර්ශකයන්ට පෙනී ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු දුන් විමර්ශකයෙක් මෙසේ පවසා තිබේ.

“දිනේෂ් ෂාෆ්ටර් මහතාට මෙම අපරාධය සිදු වෙලා තියෙන්නේ රියැදුරු අසුනේ සිටියදීයි. ඔහුව හමුවන විට සිට ඇත්තේ රියැදුරු අසුනේ. ඒ බව ඔහුගේ ව්‍යාපාරික සගයා මෙන්ම සුසාන භූමියේ සේවකයෙක් ලබාදීල තියෙන ප්‍රකාශවලින් ද පෙනී යනවා. ඒ අනුව තවදුරටත් පැහැදිලියි දිනේෂ් ෂාෆ්ටර් මහතා තමයි මෝටර් රථය පදවා තිබෙන්නේ කියල. දිනේෂ් ෂාෆ්ටර් මහතාව සුසාන භූමියේ මෝටර් රථය තුළදී අපරාධයට ලක්ව සිටියදී සොයා ගන්නා විට ඔහුගේ දෑත් තිබිල තියෙන්නේ ගැටගහලයි. ඒ සුසාන භූමියේ අවටින් සොයා ගැනීමට හැකි ලණු පොටවල් වැනි දේකින් නෙමෙයි. ප්ලාස්ටික් කේබල් ටයිවලින්. ලණු පොටවල්වලින් ගැට ගසනවාට වඩා වේගවත් මෙන්ම පහසුවෙන් කේබල් ටයිවලින් ගැට ගැසීම් කරන්න පුළුවන්. අනික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කරල තිබුණේ වයරයකින්. බැලූ බැල්මට එම වයරය බිම තිබිල අහුල ගත්තු එකක් හැටියට පේන්නේ නැහැ. ඒක අලුත් එකක්. වයරයෙන් බෙල්ල සිර කරල රියැදුරු අසුනට හිර කරල ගැට ගහලයි තිබිල තියෙන්නේ. කේබල් ටයි සහ වයර් සුසාන භූමියේ තිබෙන දේවල් නෙමෙයි. මේවා අරගෙනම ඇවිල්ල තියෙනවා කියන්නේ සැලසුම් සහගතවම දිනේෂ් ෂාෆ්ටර් මහතාව මරා දැමීමටමයි. ඒ අනුව පෙනී යනවා සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගෙන තියෙන්නෙම ඝාතනය කිරීම සඳහාම බව”

දිනේෂ් ෂාෆ්ටර් නිවෙසේ සිට ගමන් ගත් මාර්ගය ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය කරන විට ඔහුගේ වාහනය සමඟම පිටුපසින් ගමන් ගත් වාහන කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

එම වාහනවල අංක ඔස්සේ එහි හිමිකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පුවත්

රුසියානු තානාපති කාර්යාලයේ වැඩ බැලීමට විදේශ සේවයේ විශ්‍රාමිකයකු යවයි

Published

on

By

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවමත් හිස්ව පැවතීම නිසා නව තානාපතිවරයකු පත් කරන තුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තානාපති කාර්යාලයේ වැඩ බැලීමට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මාධ්‍යට පවසා ඇත්තේ, තානාපතිවරයෙකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටියේ පරතරයක් පමණක් බවත්, රුසියාවේ පවතින විශේෂ තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවයි.

මෙසේ යවන්නේ විශ්‍රාමික විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයකු බවත්, දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එහි දැනටමත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවත්, සිදුවෙමින් පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු යවන්නේ දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන නිසා නොවන බවද ඔහු කියා සිටී.

මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ප්‍රොටෝකෝලය අනුව කටයුතු සිදුවන බවද බාලසූරිය මහතා අවධාරණය කර ඇත.

කෙසේවුවද, රුසියාවට තානාපතිවරයකු පත් කර ඇතත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යට හෙළි නොකිරීමට ද බාලසූරිය මහතා කටයුතු කර තිබේ.

රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියට සේවා දිග තුනක් ලබාදී තිබුණු අතර, ඇය පසුගිය අප්‍රේල් 29 වැනිදා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කර ඇත.

වර්තමානයේ, රුවිනි කේ. මුනිදාස මහත්මිය තානාපති කාර්යාලයේ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි.

Continue Reading

පුවත්

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

Published

on

By

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම එයට සහභාගි වී නැතැයි වාර්තා වේ.

මේ කමිටුවට බැසිල් පැමිණ ඇත්තේ වජිර අබේවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධක් අනුවය.

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳව මුල සිටම වි‍රෝධය දක්වා ඇතැයි පැවසේ.

“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා.” යනුවෙන් ඔවුන් සිය විරෝධය පල කර තිබේ.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව බැසිල්ගේ සහභාගිත්වය ඇතිව පවත්වා ඇති අතර, එහිදී “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු.” යැයි යොජනා කළ බවද පැවසේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර, ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බවටද ආරංචි පැතිර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved