රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හෝ මේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මෙම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළේය.
ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඉතිරිව ඇත්තේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම නිසා බැංකු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට තම සේවා දායකයාට හැකියාවක් නොමැති බව පැවසුවේය.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා කිරිමට නියම කළ අතර අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 14 වන දා කැඳවන ලෙස නියම කළාය.
සබැඳි පුවත්