පුවත්

ප්‍රසන්නගේ රහස් ඡන්දේ ප්‍රතිඵල එයි; තීන්දුව රැවුලයි කැඳයි දෙකම රැකීම

Published

on

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියයි.

එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි ද ඔහු කියා සිටී.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම  පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා මාධ්‍යට පවසා ඇත.

ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ  රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත්  ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.

විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ  ස්ථාවරය බවද ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.

එය පොහොට්ටුව අතහැර යාමක්ද නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණය බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර තිබේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොහොට්ටුවේ ප්‍රධානියකු කියා සිටියේ ප්‍රසන්නගේ මේ සටන රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට බවයි.

Trending

Exit mobile version