ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Trending

Exit mobile version