2025 පෙබරවාරි මස 23වන දිනට යෙදී ඇති ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ (18) තානාපති නිල නිවසේදී පැවැත්වුණි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද එක්විය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – අකිඕ ඉසොමතා මහතා විසින් පැමිණ සිටි අමුත්තන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකුගේම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ එතුමා, තවදුරටත් සමෘද්ධිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වේවායි ප්‍රාර්ථනා කළේය.
මෙම උත්සවය දිගුකාලීන මිත්‍ර සම්බන්ධතාවයන් පුනර්ජීවනය කළ අතර, නිල සංවර්ධන සහාය [Official Development Assistance (ODA)] ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපන් සමාගම්වල ක්‍රියාකාරකම් ද ඇතුළුව දෙරට අතර පුළුල් සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීම සඳහා අගනා වේදිකාවක් ද සපයන ලදී. මෙහිදී ඉකෙබානා (ජපන් මල් සැකසීමේ කලාව), කරාතේ සංදර්ශණ සහ සකේ පානයන් රස විඳීම තුළින් ජපන් සංස්කෘතිය අත්විඳීමේ අවස්ථාව ද පැමිණ සිටි අමුත්තන් හට හිමි විය.
ජපාන තානාපති කාර්යාලය දෙරට අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා වර්ධනය කිරීමට කැපවී සිටින අතර, ඉදිරි කාලය තුළද තවදුරටත් සහයෝගීතාවය අපේක්ෂා කරයි.