ඡායාරූප සටහන

පැරණි මොන්ගෝලියානු සොල්දාදුවන් තවමත් ඉන්න බොග්ඩාල් (වීඩියො/ඡායා)

Published

on

චීනයේ ෂින්ජියැං හි විශාලතම කඳුකර විල වන සයිරම් විලෙන් (Sayram Lake) කිලෝමීටර 60 ක් පමණ දුරින් වන බොග්ඩාල් ගම්මානය (Bogdal village) විශ්මයජනක දසුන් සහ පොහොසත් ජෛව විවිධත්වය නිසා මේවන විට ප්‍රසිද්ධයට පත්ව තිබේ.

ෂින්ජියැං උයිගුර් ස්වයාන්තයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන බෝර්තාලා මොන්ගෝලි හි පිහිටා ඇති බොග්ඩාල් ගම්මානයේ මොන්ගෝලියානු, කසැක්, උයිගුර් සහ හන් ජනවාර්ගික කණ්ඩායම් සහජීවනයෙන් වෙසෙන ගමක් ලෙස ප්‍රචලිතය.

එහි යන විදේශිකයන්ව අඩි දහයක් පමණ විශාල ලී ගේට්ටුවක් ඉදිරියේ ගම්වැසියන්ට ආවේනික ඇඳුම් ආයිතම් පැළඳ ගීත ගයමින් සාඨක පලන්දා, සැරවතුර කෝප්පයක් දී පිළිගැනීම ඔවුන්ගේ ආගන්තුක සත්කාරයේ කොටසක් වන අතරම එය විදේශීය ආකර්ශනයට හේතුවී තිබේ.

ඉන් සුළු වේලාවකට පසුව ගම්මානයට ඇතුළු වන සුවිශාල ගේට්ටුව විවෘත වන අතර ගාම්භීර පසුබිම් සංගීතයට, ඓතිහාසික ඇඳුම් ඇඳගත් සොල්දාදුවන් පිරිසක් අශ්වයන් පිට සෙමින් ළඟා වෙමින්, ගමේ උරුමය අවදි කරන දසුන් දුටුවන්ට එහි අතීත විභූතිය විදහා දක්වයි.

චිං රාජවංශයේ (1644-1911) චියැන්ලොං අධිරාජ්‍යයාගේ පාලන සමයේදී, මොන්ගෝලියානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල් දහස් ගණනකට දේශසීමාවේ ආරක්ෂක කටයුතු සඳහා බටහිර දෙසට ෂින්ජියැං වෙත සංක්‍රමණය වන ලෙස නියෝග කර තිබේ.

එම සොල්දාදුවන් හා පවුල්වල අය දුෂ්කරතා විඳදරාගෙන දිගු හා දුෂ්කර ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන බොග්ඩාල් ගම්මානය වෙත පැමිණි බව පැවසේ.

වර්තමානයේ, ඔවුන්ගේ පරම්පරාව බොග්ඩාල්හි ජනගහනයෙන් බහුතරය වේ.

බොග්ඩාල් හි ප්‍රජාව මුලින් දේවගැති ප්‍රජාවක් ලෙස සැලැකෙන අතර වර්තමානයේ බොග්ඩාල්හි පදිංචිකරුවන්, සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී, ඔවුන්ගේ ගමට පැමිණෙන අමුත්තන් ඔවුන්ගේ කැපී පෙනෙන ඉතිහාසය පසක් කරන දර්ශනයක් මතුකරමින් පිළිගනී.

එහි යන විදේශිකයන්ට එහි ඇති ප්‍රධාන ආකර්ෂණයන් අතරට ජනවාර්ගික සංස්කෘතිය අත්විඳීම සහ මොන්ගෝලියානු හෝ කසාක් විලාසිතාවේ දැවයෙන් හෝ මැටියෙන් තැනූ පැල වල සිට රසවත් ආහාර රස විඳීමට අවස්ථාව උදාවේ.

එසේම එහි සංචාරයේ යෙදෙන්නකුට දුනු ශිල්පය පුහුණු වීමට සහ දිවා කාලයේ ගමේ දොරටු විවෘත කිරීමේ උත්සවයක් නැරඹීමට, ගිනි මැල සාදයක් භුක්ති විඳීමට සහ රාත්‍රියේ සංස්කෘතික රංගනයන් භුක්ති විඳීමට හැකි බව පැවසේ.

බොග්ඩාල්හි නව මුහුණුවර 2021 දී ආරම්භ වූ චීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු එකකි.

වර්තමානයේ එහි මලාපවහන පද්ධති, මාර්ග සහ බිත්ති ඇතුළුව යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර, සියල්ල රජයේ අරමුදල්වලින් ප්‍රතිසංස්කරණය කර තිබීම ද විශේෂිතය.

ගම් කමිටුව නිෂ්ක්‍රීය නිවාස නවාතැන් බවට පත් කිරීමට පදිංචිකරුවන් දිරිමත් කරන අතර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලබයි.

ඔවුන් විසින් අමුත්තන් සඳහා පවත්වනු ලබන සාම්ප්‍රදායික මොන්ගෝලියානු විවාහ උත්සවය අමුත්න් අතර ජනප්‍රිය අංගයක් වී තිබේ.

එය නාට්‍යානුසාරයෙන් මොන්ගෝලියානු මනාලයා විසින් මානාලියගේ නිවසින් මනාලිය ගැන විමසීමේ සිට ඇය කැන්දන්යාම මෙන්ම නැවත පැමිණීම ද රඟදක්වයි.

සටහන / ඡායා හා වීඩියෝ – කැළුම් ශිවන්ත

Trending

Exit mobile version