Connect with us

ඡායාරූප සටහන

පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ඇවිද ගිය ජනපති

Published

on

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල්” (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

ඡායාරූප සටහන

“වෘත්තිකයා දේශපාලකයාට යටවීම විශාල ප්‍රශ්නයක්”

Published

on

By

ජාතික ජන බලවේගය විසින් සංව්ධානය කරනු ලැබූ  ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව පසුගිය දා (2024.06.01 දින) පැවැත්විණි.

ඒ ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදී ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහිදී අදහස් දැක්වීම සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එක්විය.

“වෘත්තිකයා දේශපාලකයාට යටවීම විශාල ප්‍රශ්නයක්”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් –

මෙයට අවුරුදු 45කට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබී පළමුවන දේශනය කරන්න ලැබුන අවස්ථාවේ මට විශාල චකිතයක් ඇති වුණා. එතැන් සිට ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘත්තිකයන් ඉදිරියේ දේශන දහස් ගණනක් කළ පසුව අදත් මට ආයෙත් ඒ චකිතය දැනෙන්න පටන් ගත්තා. එයට හේතුව වෙන්න ඇත්තේ අද අපේ රටේ ඉන්න දක්ෂතම කතිකයා, දක්ෂතම දේශකයා වගේම ජනතාවගේ බලාපොරොත්තුව වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරියේ මේ කතාව කිරීමට සිදුවීමයි. රටක් දියුණු කිරීම සඳහා සියලු දෙනාගේ දායකත්වය එකසේ අදාළ වන බව පිළිගනිමින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. නීති විරෝධී, සමාජ විරෝධී විවිධ බලපෑම් ඉංජිනේරු වෘත්තිකයන්ට එනවා. කොටසක් ඊට අනුගත වන අතර, තව කොටසක් ඉන් ලාභ ලබාගෙන කටයුතු කළත් තව කොටසක් සිය වෘත්තියෙන් ඉවත්වී රට අතහැර යනවා. ඒ තිබුණු ප්‍රශ්නවලින් මිදිය හැකි රජයක් පිහිටුවා ගැනීම සඳහා අද අපි හැමදෙනාම එකට එකතුවී සිටිනවා.

විශාල පිරිසක් රට අත්හැර යන්නේ මුදල් නිසාම නොවෙයි. තමන්ගේ වෘත්තියට නිසි ගෞරවයක් නොලැබීම, දරුවන්ට අධ්‍යාපනයක් ලබාගැනීමට නොලැබීම එයට බලපා තිබෙනවා. සප්තවාර්ෂික නිවාඩුව සඳහා මෙයට අවුරුදු 26කට පෙර මම පවුලේ සියලු දෙනා සමග කැනඩාවට ගියා. ඒ ගිය අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනාට පාසලක් ගුවන් තොටුපොලේදීම ලිපි ලේඛන සම්පූර්ණ කරවිට පාසැලක් සම්බන්ධ කර දුන්නා. දින කිහිපයකින් එම පාසලේ නියෝජිතයෙක් ඇවිත් දරුවන් දෙදෙනා පාසලට බරගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර දුන්නා. ඒ රටට තාවකාලිකව යන අයගේ දරුවන්ට පවා අධ්‍යාපනය ලබාදීම ඒ රටේ වගකීමක් ලෙස සලකනවා. ඉතින් අපි කොතැනද ඉන්නේ. අනෙක් පැත්තෙන් අපේ රටේ වෘත්තිකයන් බිහිකිරීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදුන්නාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වෘත්තිකයන් වෘත්තිකයන් ලෙස හැසිරෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. සෑම වෘත්තියකටම ආචාර්ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර්ධර්මවලට පිටින් ගිහින් මුදල් මත පමණක් තම වෘත්තියේ නියැලෙනවද කියන ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. තුන්වෙනුව අපේ රටේ වෘත්තිකයින් තමන්ට ඉහලින් දේශපාලකයින් ඔසවා තබනවා. ඒක තවත් බරපතල ගැටලුවක්. වෘත්තිකයින් ලෙස ඉහළ අධ්‍යාපනයක් ලබලා වෘත්තීය දැනුමක් එක්රැස් කරගෙන වැඩ කරන්න යනකොට ඉස්කෝලේ ගියපු නැති දේශපාලකයා කියන විදියට වැඩ කරනවා. මෙවැනි ආකාරයේ වෘත්තිකයින් බිහි නොවෙන වගකීම අධ්‍යාපනය බාරගන්න ඕනෑ.

අපේ රටේ දේශපාලකයන් අතර ගරු කියලා කියන්න පුළුවන් පිරිසක් වෘත්තීය මට්ටමින් වැඩකරනකොට මට හමුවෙලා නැහැ. එහෙම පාලකයන් කැබිනට් මණ්ඩලයේ හෝ නිලතල වල අපට හමුවී නැහැ. මට එහෙම අය හමුවෙලා තියෙනවා ගුරු වෘත්තියේ, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සහ තවත රැකියා ක්ෂේත්‍රවල.

අපි බලාපොරොත්තු වෙන්නේ රටට ආයෝජන එනකොට ඉංජිනේරු වෘත්තිකයන්ට අවස්ථාවක් ලැබෙන ආයෝජන. ඒ වගේම යම් ව්‍යාපෘතියක් සිදුකරන විට එහි ප්‍රමුඛතාව වෘත්තිකයින්ට ලැබෙන්න ඕන. දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කළ හැකි, වෘත්තීය දියුණුව ඇති කර ගත හැකි පාලනයක්. එවැනි ආණ්ඩුවක් බිහිකර ගැනීම වෙනුවෙන්.  

“අපේ ප්‍රතිපත්ති මූලික විය යුත්තේ නව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් වෙතයි”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර –

මේක දේශපාලන වේදිකාවක මම කරන පළමු දේශපාලන කතාව. කිසි දවසක දේශපාලන වේදිකාවක කතා කරන්න නොසිතපු මම වගේ පුද්ගලයෙක් අද ඇයි මෙහෙම කතා කරන්නේ. මෙහෙම කතා කරන්න මාව පෙළඹවූයේ මගේ හෘද සාක්ෂියයි. විශ්වවිද්‍යාලවල අපි ශිෂ්‍යයන් දැනුමෙන් පෝෂණය කරලා, එළියට යැව්වාම ඔවුන්ට තිබෙන අනාගතය මොකක්ද කියලා මගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළා. දශක ගණනාවක් රට පාලනය කළ අය අපේ ශිෂ්‍යයන්ට වෘත්තිකයන්ට ඉතිරිකර දී තිබෙන්නේ, මෙවැනි ආර්ථික වටපිටාවක් නම්, අපි තවදුරටත් නිහඬව නොසිටිය යුතු බව, මේ ශිෂ්‍යයින්ට හරි අනාගතයක් තියෙනවාද? ඔවුන්ගේ වෘත්තීය මටට්මින් වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවාද? එහෙම පරිසරයක් නැති තත්වයක් තුළ තව දුරටත් නිහඬව සිටිය යුතුයිද? කියලා හෘදයසාක්ෂිය මගෙන්ම ප්‍රශ්න කරනවා. දශක ගණනාවක් රට පාලනය කළ පාලකයින් අපේ ශිෂ්‍යයන්ට උරුම කරදී තිබෙන්නේ මෙවැනි වටපිටාවක් නම් අපි තවදුරටත් නිහඬව සිටිය යුතු නැහැ. අපේ ආර්ථික වර්ධනයට විශාල වශයෙන් බලපාන වෘත්තියකයන් මේ රට අත්හැර යන විට ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ව ආදරයෙන් බාරගන්නවා. වෘත්තිකයන් රට අත්හැර යාම තුළින් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත කඩාවැටීම පිළිබඳව පාලකයන්ට කිසිම සංවේදීකමක් නැහැ. මේ නිසා අපි වෘත්තිකයන් රඳවාගෙන රට ගොඩනැගීමට යොදාගන්නා ජාතික ජන බලවේගය වටා සියලු දෙනා ඒකරාශී වියයුතුයි කියා මම යෝජනා කරනවා.

සමහර තරුණ වෘත්තිකයන් ලබන වැටුපෙන් ණය ගෙවලා, බදු ගෙවලා ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තරුණ වෘත්තිකයන්ගේ මනස එවැනි පීඩාවලින් නිදහස් කළොත් තමයි නව නිර්මාණ කළ හැකි වන්නේ. මේ දේශපාලන වාතාවරණය, ආර්ථික වාතාවරණය සහ සමාජ වාතාවරණය වෙනස් කර නව මාර්ගයක ගමන් කිරීම අපි හැමෝගෙම වගකීමක්. ඒ සඳහා තිබෙන සුදුසුම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. ඒ වෙනුවෙන් අපි උපරිමයෙන් වැඩකරමු.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන් හැටියට අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති සියල්ල දැනුම මත පදනම් වූ නව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට යොමු වීමයි. ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර සහ සම්බන්ධතාවයක් ඇති කිරීම ඒ අතරින් මූලිකයි. පශ්චාත් උපාධි ලබාගන්නා අපේ තරුණ වෘත්තිකයන් විදේශ රටවලත් අධ්‍යාපනය ලැබීමෙන් පසු අපේ රටට පැමිණ කර්මාන්තවලට යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මේ වනතුරු නැහැ. නව දැනුම සහ තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණශීලී, වැඩදායී කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමේ හැකියාව අපට තිබෙනවා. තව අවුරුදු 10ක් 15ක් ඉදිරිය ගැන හිතුවොත් සිවිල් ඉංජිනේරු කටයුතු වෙනම ඩිජිටල් යුගයකට පරිවතර්නය වන බව පැහැදිලියි. මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකේ දී විවිධ තාක්ෂණයන් එකතු කර ගනිමින් ඉදිරියට ගැනීමේ අභියෝගය අපිට තිබෙනවා. ඒ වගේම දේශීය තාක්ෂණයත් කර්මාන්වලට යොදා ගන්නා දැනුම පදනම් කරගත් නව නිෂ්පාදන ආර්ථිකයකට අපිට ගමන් කළ හැකියි. නව අවශ්‍යතා අනුව අපේ විශ්වවිද්‍යාල ඇතුළේම පූර්ණකාලීන පශ්චාත් උපාධි පාටමාලා ඇති කිරීමත් ඉදිරියේදී කළ යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයකට ඉංජිනේරුවන් වන අප හැම දෙනාම එක මිටට එකතු වී සහයෝගය ලබාදියයුතු වෙනවා.

Continue Reading

ඡායාරූප සටහන

අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට(ඡායා)

Published

on

By

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මුලිකත්වය ලබා දෙන ලෙස ද එම නිර්දේශ අතර ඇතුළත්ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතාකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත් බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒව හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදෙන ලදී.

ඒහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී එම පුද්ගලයින්ගේ අතින් දත්ත සටහන් කරගැනීම ඔස්සේ විශාල දුෂණ අක්‍රමිකතා සිදුවන ආකාරය පිළිබඳව කාරක සභා සාමාජිකයින් මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්හ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදීද අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක් භාවිතා කරමින් සිදු කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශයක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදෙන ලදී.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම ආශ්‍රිතව ඉදරිපත් වී ඇති අක්‍රමිකතා සඳහා විධිමත් ලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පලවිය. එලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ඔස්සේ තව තවත් දුෂණ අක්‍රමිකතා සිදුවන
බවත් එය අස්වැසුම ප්‍රතිලාභ නිවැරදිම පුද්ගලයින් සඳහා හිමිවීමට දැඩි බාධාවක් ඇති කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ලැබෙන පැමිණිලි විභාග කර ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ගරු එම්. ඒ. සුමන්තිරන් ,ගරු මහින්දානන්ද අලුත්ගමගේ , ගරු නිමල් ලාන්සා , ගරු මධුර විතානගේ, ගරු මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

“ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන්”(ඡායා)

Published

on

By

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව  පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved