ඡායාරූප සටහන

‘බෙයිජිං හි සේන් නදිය’ ලියංමා ඟඟ දිගේ පහලට (ඡායා/වීඩියෝ)

Published

on

චාඕයං (Chaoyang) ප්‍රදේශයේ හි පිහිටි ලියංමා (Liangma) නදී තීරය, බෙයිජිං ජාත්‍යන්තර නගරයක් කරා කැන්දාගෙන යන ඉතා සුන්දර පෙදෙසකි.

ලියංමා ගඟේ ඉතිහාසය මිං රාජවංශයේ යොංල’ (Yongle) යුගය දක්වා දිවයන බව පැවසේ.

ශතවර්ෂ ගණනාවක පරිණාමයෙන් පසුව, අදවන විට ලියංමා ඟඟ ආශ්‍රිත පෙදෙස බෙයිජිං හි ජාත්‍යන්තර ශෛලිය සමඟ වැඩිපුරම ඇතුළත් ප්‍රදේශයක් බවට පවත්ව ඇති අතර, චීන මාධ්‍ය විසින් මෙම ප්‍රදේශය හඳුන්වන්නේ ‘බෙයිජිං හි සේන් නදිය’ ලෙසයි.

චාඕයං දිස්ත්‍රික්කයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති ලියංමා ගංගාව ඊසානදිග දිය අගලෙන් ආරම්භ වී තානාපති කාර්යාල කලාපය, ජියුෂියැන්චියාඕ (Jiuxianqiao) පාලම සහ චාඕයං උද්‍යානය හරහා ගමන් කර අවසානයේ බාහ’ (Bahe) නදියට එකතු වේ.

කිලෝ මීටර් 9.3 ක් පුරා විහිදෙන, ලියංමා නදිය වර්ග කිලෝමීටර් 14.25 ක ජලාපවහන ප්‍රදේශයක් සහිතවූවකි.

මේවන විට දැකුම්කළු අයුරින් Liangma River International Style Waterfront ලෙස නවීකරණය කර ඇති මේ පෙදෙස චීනය ලෝකයට විවරවන වැදගත් කවුළුවකි.

එය දිවා කාලයට එක් හැඩයකුත්, හැන්දෑවට තවත් හැඩයකින් මෙන්ම රාත්‍රියට වෙනස්ම ස්වරූපයකින් කාලානුරූපීව වෙනස්වීම මෙහි ඇති සුන්දර බව තවත් තීව්‍ර කර තිබේ.

මෙහි නවීකරණ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2019 අප්‍රේල් මාසයේදී වන අතර, එය ජනතාව වෙත විවෘත කර ඇත්තේ 2020 අගෝස්තු මාසයේදීය.

කිලෝ මීටර් 5.58ක් පුරා විහිදෙන, මේ කලාපයට හෙක්ටයාර 16.67 ක ජල ප්‍රදේශයක් සහ හෙක්ටයාර 64.09 ක හරිත ප්‍රදේශයක් මෙන්ම හෙක්ටයාර 80.76 ක ඉදිකිරීම් ප්‍රදේශයක් ද ඇතුළත්ව තිබෙන අතර, උතුරෙන් තානාපති කාර්යාල කලාපයට මායිම් වේ.

බීජිං හි ඇති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලවලින් 90% ක් මෙන්ම එක්සත් ජනපදය, ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි තානාපති කාර්යාල සියයකට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇත්තේ ලියංමා නදී ඉවුර දිගේය. මෙම ප්‍රදේශයේ සිට විශාල වාණිජ ව්‍යාපෘති සහ නාගරික පොදු අවකාශයන් 10ක් වෙත පහසුවෙන් යාමට හැකියාව ඇත.

මෙම නදිය දිගේ ගමන්කරන්නෙකු හට චීන සංස්කෘතිය, එහි ව්‍යාපාර, සංචාරක ආකර්ශනය හා තාක්‍ෂණ ශක්තිය යන කාරණාවන් අවබෝධකර ගැනීම අපහසු කරුණක් නොවේ.

මෙහි රාත්‍රී බෝට්ටු සවාරියකට එක්වන්නෙකුට පාලම් ආලෝක සංදර්ශන, ජල සංදර්ශන සහ තේමා ආලෝක සංදර්ශන ඇතුළත් විස්තීර්ණ රාත්‍රී අත්දැකීමක් භුක්තිවිඳින්නට නිතැතින්ම අවස්ථාව උදාවේ.

ලියංමා ඟංඟා සංචාරයේ දිගුවක් මේවන විට ද ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වසරේ 2022 දී මේ ව්‍යාපෘතිය “එක් ගංගාවක්, විල් දෙකක්, පාලම් 24 ක් සහ දර්ශනීය ස්ථාන 18 ක්” යන තේමාව යටතේ තවත් නවීකරණය කිරීමට නියමිතය.

නවීකරණ කටයුතු වලට අනුව ජලය මධ්‍යයේ මකරුන්, ජාතික අලංකරණ කටයුතු, විවිධ සුගන්ධයන් විහිදෙන කලාප ඇතුළු නවීන අංග එක් කිරීමට සැලැසුම් කර තිබේ.

ව්‍යාපෘතිය අවසන් වූ පසු, චාඕයං උද්‍යානය සහ හොංලිංජින් (Honglingjin) උද්‍යානය ඒකාබද්ධ කෙරෙන අතර තුන්වන රින්ග් පාරේ සිට හොංලිංජින් විල දක්වා කිලෝමීටර් 6 ක බෝට්ටු මාර්ගයක්ද ස්ථාපනය කෙරේ.

(සටහන ‍| වීඩියෝ ‍| ජායා – කැළුම් ශිවන්ත බෙයිජිං හි සිට)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version