2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හයදෙනාගේ තරගවටයේ අද (07) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කොදවේවෝ කඩුලු 8කින් පරදා විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.
මේ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මෙතෙක් සහභාගිවූ තරග නමයම ජය ගැනීමට සමත්වීම විශේෂ සිද්ධියකි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.
ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 48.කදී සියලුදෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 243ක් පමණි.
කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.
ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේ ය.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අඩිතාලම දමා දුන්නේය.
පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.
පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔු ලකුණු 83ක් කට දැවී ගියේය.
කෙසේවුවද, පන්දුවාර 44.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ලකුණු පුවරුව