ක්‍රීඩා

සුපිරි හයේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

Published

on

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (30) දහවල් 12.30ට නෙදර්ලන්තය සමග පැවැත්වේ.

මෙවර ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාව, තමන් සහභාගි වූ තරග හතරම ජයගෙන අපරාජිතව සුපිරි හයේ වටයට පිවිසි අතර ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලිය හා එක් වූ නෙදර්ලන්තය තරග හතරකින් තුනක් ජයගෙන අදාළ වටය සඳහා පිවිසියේය.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පෙර තරගයන්හි ක්‍රීඩා නොකලද සුපිරි හය වටයේ සිට කණ්ඩායමට එක් කිරීමට අපෙක්ෂාවෙන් සිටියත්,ඔහුගේ ආබාධ තත්ත්වය හමුවේ ඔහුට ඉදිරි තරගද අහිමි වී තිබේ.

ඒ හේතුවෙන් පෙර වටයේ ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයේදී ද ක්‍රීඩා කරනු ඇති අතර ඉදිරි දිනකදී දුෂ්මන්තව නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත තරග තුනෙන් දෙකක් ජයගතහොත් පහසුවෙන් අදාළ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට උදාවනු ඇත.

ඒ මක්නිසාද යත් ‘බී’ කාණ්ඩය යටතේ ඕමානය සහ ස්කොට්ලන්තයට එරෙහිව ජය ලබා තිබීම හමුවේ ශ්‍රී ලංකාව සුපිරි හය වටයට පිවිසෙනුයේ එම ලකුණුද අතැතිවය.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරග සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත්වනු ඇත.

Trending

Exit mobile version