Connect with us

ක්‍රීඩා

පාපන්දුවේ බලය ගන්න ජස්වර් – දක්ෂිත සටනේ 

Published

on

ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට හිටපු සභාපති ජස්වර් උමර් මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා නාම යෝජනා භාර දී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේදී පෙරේදා නාම යෝජනා භාර ගැනීම සිදු විය. 

ජස්වර් උමර් මහතාගේ පාර්ශ්වයෙන් පාපන්දු ලීග් 13කින් තනතුරු 13කට නාම යෝජනා ලබා දුන් අතර, දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් පාපන්දු ලීග් 7කින් තනතුරු 13කට නාම යෝජනා ලබා දුන්නේය. 

පාපන්දු නිලවරණය ලබන සැප්තැම්බර් මස 29 දා පැවැත්වෙන අතර, රට පුරා පාපන්දු ලීග් 69කට ඡන්ද එක බැගින් හිමි වේ. 

පාපන්දු නාම යෝජනා සම්බන්ධ අභියාචනා විභාග කිරීමෙන් පසු අවසන් ලේඛනය ලබන මස 4 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව සභාපති අපේක්ෂක ජස්වර් උමර් මහතා පැවසුවේ පාපන්දුවට ළැදි සියලු පාර්ශ්ව එකතුවී සිටියදී සුළු පිරිසක් එක්ව අනවශ්‍ය සටනක් නිර්මාණය කිරීම පිළිබඳ කනගාටුවට පත්වන බවය.

“මම කොහොමත් විශාල ඡන්ද ගණනකින් දිනනවා. පුංචි හරි සටනක් තිබුණේ නැත්නම් අපි නිතරඟයෙන් එන බව පවසා හෙට අනිද්දාම පාපන්දු තහනම ඉවත් කර ගන්න තිබුණා. එහෙම වුණා නම් ජාතික පාපන්දු පිල නිල නොවන ලෙස හරි කටාර් රාජ්‍යයට යවා සූදානම් කරන්න පුළුවන්. තනතුරු 13කට නාම යෝජනා දීමේදී ලීග් 5කින් 10ක් දාලා. ආරම්භයේම බොරුවක් කරන්නේ කියා ඕන කෙනෙකුට තේරෙනවා. නාම යෝජනා දිනයේම පරාජය පේනවා” යැයිද ජස්වර් උමර් මහතා පැවසීය. 

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා පැවසුවේ ඉතා ගුණාත්මක වෘත්තියවේදී කණ්ඩායමක් තමන් යටතේ ඉදිරිපත්කොට ඇති බවය.

 “අපට පෞද්ගලික අවශ්‍යතා නෑ. වගකීමකින් නාම යෝජනා දුන්නා. රටක් ලෙස ඉදිරියට යන්න රජයේ, අන්තර්ජාතික හා අනුග්‍රාහකයන්ගේ සහයෝගය ගත යුතුයි. අපට ලීග් සහයෝගය තියෙනවා. ඡන්දදායකයන්ගේ සහයෝගය මට තියෙනවා. අපේ කණ්ඩායම කටයුතු බෙදා ගෙන සිදු කරනවා. නිසි පුද්ගලයාට නිසි තැන දෙනවා. විමධ්‍යගත පරිපාලනයක් කරනවා. දිනන හැටි මම පෙන්වන්නම්” යැයිද දක්ෂිත සුමතිපාල මහතා පැවසීය.

ජස්වර් උමර් මහතාගේ පාර්ශ්වයෙන් භාරදුන් නාම යෝජනා මෙසේය: 

සභාපති – ජස්වර් උමර් (විනිසුරු ලීගය), උප සභාපතිවරු – රංජිත් රුද්‍රිගූ (මීගමුව ලීගය), වෛද්‍ය මනිල් ප්‍රනාන්දු (කළුතර ලීගය), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දිල්ෂාන් නාගහවත්ත (ගාල්ල ලීගය), නාවික කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක (නාවික ලීගය), විධායක සාමාජිකයන් – පොලිස් අධිකාරී අබ්දූල් ගෆාර් (මාවනැල්ල ලීගය), සායිෆ් යූසුප් (වෙ‍ෙළද සේවා ලීගය), ජගත් ද සිල්වා (නාවලපිටිය ලීගය), අබ්දුල් මනාෆ් (අම්පාර), ඒ. නාගරාජන් (වවුනියා ලීගය), ඉන්දික තේනුවර (මාතර ලීගය), මොහොමඩ් රිස්වි (කින්නියා ලීගය) කාන්තා නියෝජනය – දීපිකා කුමාරි (බියගම ලීගය)

දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් භාරදුන් නාම යෝජනා: 

සභාපති – දක්ෂිත සුමතිපාල (අනුරාධපුර ලීගය), උප සභාපතිවරු – ටී. අයි. උඩුවර (වත්තල ලීගය), ජී. පී. පීරිස් (දෙහිවල ගල්කිස්ස ලීගය), ජගත් රෝහණ (ජනසතු සේවා ලීගය), රෝහිත ප්‍රනාන්දු (වෙන්නප්පුව ලීගය), විධායක සාමාජිකයින් – නිහාල් පෙරේරා (වත්තල ලීගය), ඒ. ජී. සුනිල් (වෙන්නප්පුව ලීගය), ලියෝ ප්‍රනාන්දු (පොල්ගහවෙල ලීගය), සුදාකර් (ජනසතු සේවා), නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), ආර්. ඒ. තරංග ( දෙනියාය ලීගය) කාන්තා නියෝජනය – හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය)

ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Continue Reading

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading

ක්‍රීඩා

හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා!

Published

on

By

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය මගින් සිදුකල තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිටපු දැල්පන්දු නායිකාවක් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ටොරින්ටන් ශරීර සුවතා මධ්‍යස්ථානයේදී ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉලක්ක කර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ.

එහිදි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අහඹු ලෙස මෙම පරීක්ෂණයකට යොමුකර එක් ක්‍රීඩිකාවක් මාංශ පේශීන් වර්ධනයට සිදුකරනු ලබන ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවට තහවුරුවී ඇතැයි පැවසේ.

මෙය ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට සමාන මිනිසා විසින් නිෂ්පාදිත කෘතිම ස්ටොරයිඩටයක් ලෙස සැලැකේ.

අදාල පරීක්ෂණවල ප්‍රතිපළ ඊයේ (08) උදෑසන කටාර්හී පිහිටි උත්තේජක පාලන රසායනාගාරය විසින් නිකුත් කර ඇති අතර, එහිදි හිටපු නායිකාවගේ සාම්පලවල මෙම තහනම් උත්තේජකයේ සංගටක පැවති බව තහවුරු වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරනු ලබන බවත්, එසේම අද (09) දිනයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණයේදී අදාල ක්‍රීඩිකාව වැරදිකරු වුවහොත් වසරක සිට වසර 4ක් දක්වා දැල් පන්දු ක්‍රීඩාව හා ඊට සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු කල නොහැකි ආකාරයේ තහනමක් පැනවෙනු ඇති බවත් පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved