ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Trending

Exit mobile version