Uncategorized

පාර්ලිමේන්තුව අලුත් කරන ඇස්තමේන්තුව බිලියන 10 කින් ඉහළට

Published

on

පාර්ලිමේන්තු සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2019 වසරේදී ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව මේ වනවිට තවත් රුපියල් බිලියන දහයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් සමූහ උපදේශන සේවාව ලබා ගැනීමට සහ ඉදි කිරීම් කටයුතු සඳහා නාවික හමුදාවේ සේවය ලබා ගැනීමට 2018 වසරේදී සහ 2022 වසරේදී ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා මගින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2019 වසරේදී ඉදිරිපත් කරන ලද දළ පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන තුනක් (3, 520, 000, 000.00) වූවත්, ඉහළ යන මිල ගණන් සහ වැඩ විෂය පථයේ වෙනස්වීම් හේතුවෙන් එම ඇස්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන දහතුනක් (13, 088, 746, 299.56) ඉක්මවා ඇතැයි අනාවරණය වේ.

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා මෙම වසරට (2024) අදාළව රුපියල් මිලියන පනස් අටක මුදලක් (58, 800, 000.00) මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතත්, ව්‍යාපෘතියේ ඉතිරිවී තිබෙන වැඩ කොටස් සම්පූර්ණ කිරීමට අතිරේක අයවැය ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට සිදුවී ඇතැයි අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

මේ වසර සඳහා වෙන්කරන ලද මුදල පාර්ලිමේන්තු සංකීර්ණයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම, ටෙරස් නිවැරදි කිරීම සහ අනෙකුත් හදිසි වැඩ සඳහා යොදා ගැනීමට නියමිත වූවද, ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට එම මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරි වසර පහ තුළදී (2025-2029) අමතර මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවට ගණන් බලා ඇත.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version