ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් පැවතුනහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරේස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල – ඉරාන ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය.
ඒ , කඩිනමින්, සටන් විරාමයක් අවශ්‍ය බව නැවතත් අවධාරණය කරමිනි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ මෙම ගැටුම මැදපෙරදිග කලාපයට මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් බවය.
ඊයේ රාත්‍රියේද ඉරානය විසින් ඊශ්‍රායලයට තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.
ඉරාන ප්‍රහාර වලින් මේ දක්වා ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 24 කී.
ගත වූ පැය 24 තුළ ඉරානයේ ස්ථාන 40කට ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල බුද්ධි අංශ වාර්තා කළේ, ප්‍රහාරක ජෙට් යානා 25ක් යොදා ගනිමින් ඉරාන මිසයිල ගබඩා සහ ඉරාන හමුදා ක්‍රියාකාරි ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.
ඒ අනුව ගත වු දින 5ක් තුළ ඉරාන ඉලක්ක 1,100කට පහර දි තිබේ.
ඊශ්‍රායලය පැවසුවේ ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.
මේ අතර ඉරානය තමන්ගෙන් උපකාර ඉල්ලා නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් පවසයි.
ජනධිපතිවරයා පැවසුවේ මෙම ගැටුම් සම්බන්ධ තීරණ එම රටවල දේශපාලන නායකත්වයට, භාර දිය යුතු බවයි.
මේ අතර ඉරාන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සඳහන් කළේ, ඉරානයට න්‍යෂ්ටික ගිවිසුමක් සදහා එකඟ වීමට අවස්ථාවක් පැවති බවත් ඔවුන් ඒ සදහා එකඟ නොවූ බවයි.
ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළ නමුත් ප්‍රහාර සදහා සහාය දීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
ඉරානයේ අධ්‍යාත්මක නායක අයතුල්ලා අල් කමේනි පැවසුවේ ඉරානයට එරෙහි ප්‍රහාර සදහා අමෙරිකාව සම්බන්ධ වුවහොත් ඊට වැළැක්විය නොහැකි ප්‍රතිවිපාක ලැබෙනු ඇති බවයි.
මේ අතර හෙට දින විශේෂ රැස්වීමක් කැදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ දැනට පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම් අනුව මෙම හදිසි රැස්වීම කැදවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පැවසුවේ තම රටද ඒ සදහා සහභාගී වන බවයි.