විදෙස්

ට්‍රම්ප්, ලිංගික අතවරයකට වරදකරු වෙයි

Published

on

1990 දශකයේදී නිව් යෝක් හි වෙළෙඳසැලක් තුළදී සඟරා තීරු ලිපි ලේඛිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

ජීන් කැරොල් නම් තීරු ලිපි ලේඛිකාව විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඇගේ චෝදනා “ප්‍රෝඩාවක් සහ බොරුවක්” යැයි පැවසීම හේතුවෙන් ට්‍රම්ප් මහතා අපහාසයක් සඳහා  වගකිව යුතු බවද ජූරි සභාව තීරණය කළේය.

ට්‍රම්ප්, ලිංගික අතවරයකට නීත්‍යානුකූලව වගකිව යුතු බවට තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි.

වින්දිත පාර්ශවයට ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක පමණ ගෙවන ලෙස ජූරිය විසින් ට්‍රම්ප් ට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇති ජීන් කැරොල් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය තමාට පමණක් නොව, තමාව විශ්වාස නොකරනු ලැබීම හේතුවෙන් විඳවූ සෑම කාන්තාවක් වෙනුවෙන් ලද ජයග්‍රහණයක් බවයි.

ට්‍රම්ප් ගේ නීතිඥයන් පවසා ඇත්තේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කිරීමට හිටපු ජනපතිවරයා සූදානම් වන බවයි. තමාගේ සමාජ මාධ්‍ය ජාලය වන “ටෲත් සෝෂල්” ඔස්සේ පණිවිඩයක් යොමු කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ මෙම කාන්තාව කවුදැයි තමා නොදන්නා බවයි.

කෙසේවෙතත්, මෙම නඩුව අපරාධ නඩුවක් නොව සිවිල් නඩුවක් වූ බැවින්  ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි වීමට ට්‍රම්ප් මහතාට සිදුනොවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version