රිය අනතුරකින් පසුව බීමත්බව පරීක්ෂා කරන ආශ්වාස ප්‍රාශ්වාස පරීක්ෂණය අසමත් වූ නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
39 හැවිරිදි ඇලන් හට අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා එල්ලවී ඇත. කෙසේවෙතත් එම රිය අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැති බවද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය විසින් ඇයව පැය 4ක් පුරාවට රඳවාගෙන සිටීමෙන් අනතුරුව නිදහස් කර ඇති අතර, ඉදිරි දිනකදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඇය, නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ගේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වූ සිවුවැනි ඇමති වේ. කෙසේවෙතත්, ඇය දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට නියමිතය.
පසුගිය මාසයේ සිය සහකාරියගෙන් වෙන් වූ කිරි ඇලන් හට, සිය කාර්‍ය මණ්ඩලය සමඟ දුර්වල වෘත්තිමය සබඳතා පවත්වාගැනීම යන චෝදනාවද එල්ල වී තිබුණි.