පුවත්

ඉන්ධන මිල සමග පාසැල් වෑන් ගාස්තු ඉහළට

Published

on

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු 5% කින් ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන්  ප්‍රවාහන සේවා සංගමය පවසයි.

ඩීසල් මිල රු. 35කින් ඉහළ ගිය අතර, මෙමගින් සිය සේවා වලට බලපාන බවත්, රජය විසින් මිල අඩු කිරීම් සිදුකළ විටදී දෙමාපියන් හට සහනයක් ලබාදීමට සිය සංගමය ගාස්තු අඩු කළ බවත් එහි සභාපති එන්.එම්.කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා පෙන්වාදෙයි.

කෙසේවෙතත්, මෙ අවස්ථාවේදී ඉන්ධන මිල වැඩිවීම සමග රක්ෂණ ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා අයකිරීම් ඉහළ ගොස් ඇති බැවින් තමාද බරපතල ගැටළු වලට මුහුණදෙන මෙන් ඔහු පැහැදිලි කරයි.

මේ අනුව, රු. 5,000 වෑන් ගාස්තුව රු. 250කින්ද  රු. 10,000 ගාස්තුව රු. 500කින් ද වැඩි වනු ඇතැයි ඔහු පවසයි.

බස් ගාස්තු වැඩිවීම ගැන තීන්දුව අද

මේ අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 4 කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් ගාස්තු වැඩි වනවාද නැද්ද පිළිබඳ නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවත් එහි උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.

ත්‍රීවිල් ගාස්තු වැඩි වෙන්නෑ

කෙසේ නමුත්, සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බවයි.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා පවසා ඇත්තේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි.

Trending

Exit mobile version