ව්‍යාපාර

‘Shell’ නැවතත් ලංකාවේ

Published

on

පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ඇමෙරිකාවේ RM Parks Inc. සමාගම සහ ලංකා ආයෝජන මණ්ඩලය විසින් ගිවිසුමකට අත්සන් තබා තිබේ.

කැලිෆෝනියාව මුල් කරගත් පෙට්‍රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම, Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ මෙසේ ගිවිසුම්ගත‌ව ඇති බව වාර්තා වේ.

ඩොලර් මිලියන110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ෆ්‍රැන්චයිස් ඉන්ධන පිරවුම්හල් 150ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ක්‍රියාත්මක කරමින් මෙරට ඛනිජ තෙල් සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයූතු සිදු කෙරෙනු ඇති බව සඳහන් වේ.

තවද ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කිරීම පිණිස අනෙකුත් ඛනිජ තෙල් හෝ ගෑස් නිෂ්පාදන, අතුරු නිෂ්පාදන (ගුවන් ඉන්ධන ඇතුළුව), EV ආරෝපණය කිරීම සහ කාර් සේදීම, අන්තර්ජාල කැෆේ, ATM, අවන්හල් වැනි අගය එකතු කළ සේවාවන් සැපයීමද මේ තුලින් සිදුවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇතිකර ගන්නා දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව මත පෙට්‍රල්, ඩීසල්, ජෙට් A-1, භූමිතෙල් සහ උදුන් තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කරනු ඇත.

RM Parks Inc. කැලිෆෝනියාවේ ප්‍රමුඛ පෙළේ ඉන්ධන බෙදාහරින්නා වන අතර ඛනිජ රසායන බෙදා හැරීමේ කර්මාන්තයේ වසර 50කට වැඩි කාලයක කීර්තිමත් ඉතිහාසයක් ඇති සමාගමකි.

අදාල ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික චාන්දනී විජේවර්ධන හා මනිලාල් ජයසිංහ යන මහත්ම මහත්මින් අත්සන් කළ අතර RM Parks Inc. සමාගම වෙනුවෙන් එහි සභාපති ජේසන් කැලිසන් (Jason Callison) සහ උප සභාපති ජස්ටින් ඩිවිස් (Justin Divis) යන මහත්වරුන් අත්සන් කළහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මියද මේ සඳහා එක් විය.

(මූලාශ්‍රය : දිනමිණ)

Trending

Exit mobile version