පුවත්

Suzuki WagonRවල අවුලක්: මේ වන විටත් ලංකාවේ වාහන 3,800ක් ආපසු කැඳවලා

Published

on

සුසුකි මෝටර් කෝපරේෂන් ජැපෑන් (Suzuki Motor Corporation Japan) විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු, අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරක් බවද පැවසේ.

විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙන බව වාර්තා වේ.

මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇතැයි ද වාර්තා වේ.

බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කර ගැනීමේ හැකියාව ඇතැයි ද එම සමාගම කියා සිටී.

Trending

Exit mobile version