කලා

රංගගේ නත්තල් ටෙලිය රූපවාහිනියේ DGගේ කතුරට හසුවෙයි!

Published

on

රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු දෙස් විදෙස් සම්මානලාභී ප්‍රවීන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන රංග බණ්ඩාරනායක නිර්මාණය කරන්නට යෙදුන නත්තල තේමා කොට ගත් නත්තල් ටෙලි නාට්‍යයේ රූගැන්වීම් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සෙනවිරත්න මහතාගේ අත්සන ප්‍රමාද කිරීම නිසා අතහැර දමන්නට සිදුව ඇති බව වාර්තා වේ.

අදාල ලිපිගොනුවට අනුමැතිය දීම එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හිතාමතා පැහැර හැර ඇති බවට රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මෙය රූපවාහිනී සංස්ථා ඉතිහාසය තුළ අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු විසින් ලිපිගොනුවකට අනුමැතිය ලබා දීම අතපසු කිරීමෙන් රූගැන්වීම් නවතා දැමීමට සිදු වූ ප්‍රථම ටෙලි නාට්‍ය ය වශයෙනුත් එමෙන්ම නිෂ්පාදන ලිපිගොනුවකට අනුමැතිය ලබා දීම අතපසු කොට ටෙලි නාට්‍ය නිර්මාණයක ගෙළ සිඳලූ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්තා සෙනෙවිරත්නත් ඉතිහාසගත වන බව රූපවාහිනී සේවකයෝ කියති.

කෙසේවුවද, අදාළ කටයුත්ත අත්හැරීමට අජන්තට උපදෙල් ලබාදී ඇත්තේ රූපවාහිනියේ පොහොට්ටු පක්ෂයට සම්බන්ධ ප්‍රධානියකු විසින් බවට ද චෝදනාවක් එල්ල වී ඇත.

ඒ අතරම, එම ආයතනයේ නත්තල තේමා කොට ගත් වැඩසටහන් පිළිබඳ රැස්වීමකදී යෝජනා වශයෙන් ඉදිරිපත් වූ අදාල වැඩසටහන් සියල්ල නවතා අජන්තා සෙනෙවිරත්නගේ අභිමතය පරිදි නිර්මාණය කෙරෙන වැඩසටහන් පමණක් නිෂ්පාදනය විය යුතු බවට නියෝගක් කිරීම සම්බන්ධයෙන්ද එහි සේවකයන් තුළ කුකුසක් මතුව ඇති බව පැවසේ.

මේ සඳහා බාහිර ආයතනයක් සමඟ දැනටමත් ඔහු කටයුතු ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.

එසේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී, FIFA ලෝක කුසලාන තරඟාවලියේදී ද මුදල් අක්‍රමිකතා සිදුවූ බවට මේවන විට එහි පරිපාලනයට චෝදනා එල්ලවී ඇත.

කෙසේවුවද, රූපවාහිනී සේවකයන් තුළ මේ සම්බන්ධ මතය වී ඇත්තේ අදාළ රූගැන්වීම් හදිසියේ නවතා දමා ඇත්තේ බාහිරින් ටෙලි නාට්‍යයක් මිළදී ගැනීමට බවයි.

එය මුදල් මවන වැඩක් බව රූපවාහිනී සේවකයෝ කියති.

Trending

Exit mobile version