අන්තර්ජාලය හරහා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි චීන ජාතිකයන් 13 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් දෙදෙනකු සිටින අතර ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරැල්ල, ගෝතමී පාරේ ස්ථානයක සිදුකළ වැටලීමකදී මෙම චීන ජාතික සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අදාළ වංචාව සඳහා යොදාගත් බව කියන ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 24 සහ 29 වියේ පසුවන තැනැත්තියන් බවත් චීන ජාතික සැකකරුවන් අවුරුදු 30ත් 44ත් අතර වියේ පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ II ස්ථානාධිපති උපුල් ගල්වල ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.