පුවත්

ඇප ලැබුණත් ප්‍රියමාලි තවම රිමාන්ඩ්!

Published

on

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් දින 72ක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඉකුත් 16 වැනිදා ඇප නියම වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (19) වන විටත් බන්ධනාගාරයේ රැඳී සිටියාය.

අධිකරණය මගින් නියම කළ රුපියල් 50,000ක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 200ක ශරීර ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකාරිය මේ වන තෙක් බන්ධනාගාරයේ සිටින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අරුණට ඊයේ (19 වැනිදා) පැවැසීය.

තිලිණි ප්‍රියමාලි සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉකුත් 16 වැනිදා නියෝග කළේය.

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද සැකකාරියට නියම කළේය.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂුන් වහන්සේලා රවටා රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකරන ලදැයි ඉකුත් ඔක්තෝබර් 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි.

Trending

Exit mobile version