පුවත්

ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩ්ඩෝ 4ක්; බොරු ප්‍රචාරයක් කළේ ඇයි?

Published

on

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළ ඉන්දීය ආරක්ෂක බලධාරින් මෙතෙක් මෙරට බලධාරින් සමග කිසිදු තොරතුරු හුවමාරු කිරීමක් හෝ විමර්ශන සඳහා සහාය ඉල්ලා නැතැයි “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට තුළ ඇති ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් කළ විමර්ශනවලදී මෙම සිව්දෙනා මත්ද්‍රව්‍ය හා රත්රන් ඇතුළු නීති විරෝධී ජාවාරම්වලට හැරෙන්නට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වී නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඉන්දීය බුද්ධි අංශ ඇතුළු එරට ආරක්ෂක බලධාරින් ලංකාවට පැමිණ මාස ගණනක් විමර්ශන කළත් මෙවර එවැනි විමර්ශනයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමටවත් කතා කර නොමැති බවද එහි දැක්වේ.

ඉන්දියානු මැතිවරණ කාලසීමාව තුළ මෙවැනි මාතෘකා ඉදිරිපත් කර දැඩි ප්‍රචාරයක් දෙන ප්‍රචාරක ව්‍යාපෘති මීට ඉහත වතාවත්වලදීත් සිදු වි ඇති බව රජයේ ඉහළ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවසූ බවද එම පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාකරුවන් සිටින බවට කළ ප්‍රචාරයෙන් සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල වී ඇති බව අදාළ නිලධාරියා හෙළිකර තිබේ.

Trending

Exit mobile version