පුවත්

ඉමියුනොග්ලොබියුලින් මිලදී ගන්න කලින් හිටපු ඇමති හා ලේකම් සාකච්ඡා කරලා

Published

on

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට පෙර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරු ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බව විත්තියේ ජනාධිපති නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (13) පස්වරුවේ දී දන්වා සිටියේය.

 මෙම සිද්ධියට තවත් ඉහළ නිලධාරීන් රැසක් සම්බන්ධ බවට නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස මහතා එහිදී හෙළිකළ‌ේය.

මේ අනුව, සිද්ධියට සම්බන්ධ වූ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (13) නිය‌ෝග කළාය.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ ක්‍රියාකලාපය අධිකරණයට සැකසහිත බවද මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් ඖෂධ 182ක් මිලදී ගැනීමේ කටයුත්තේ බොහෝ සැකසහිත අවස්ථා දක්නට ලැබෙන බවද මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

මහෙස්ත්‍රාත්වරිය,
මෙම ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු සියල්ලේම අධීක්ෂණ නිලධාරිවරයා ලෙස කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයායි, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම් සහ ක්‍රියාකලාපය ගැන වාර්තාවක් ඊළඟ දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නියම කරමි. අදාළ ඖෂධ ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කුමන ආයතනයක, කුමන තනතුරක් දැරුවත් ඔවුන් සියලුදෙනා නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමි.

Trending

Exit mobile version