පුවත්

කපු රෙදි කියා ගෙන්වූ කෝටි 11ක රට සිගරට් රේගුවේදී අල්ලගනියි

Published

on

රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතළිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර, නීතිවිරෝධී ලෙස ‌ගෙන්වා තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11)  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 

මේ බහාලුම ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් කොළඹ ග්‍රෑන්ඩ්පාස්, ග්‍රේ ලයින් බහාලුම් අංගයේ තිබියදී අ්ඩංගුවට ගෙන තිබිණි.

ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබා දුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර මෙම බහාලුම ඉකුත් 7 වැනිදා ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි.

වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් “100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් ” ලෙස රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබූ මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

” මැන්චෙස්ටර් ” වර්ගයේ මෙම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිට කර ගත්තේ නම් රුපියල් තිස් එක් කෝටි හැට ලක්ෂයක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගුව ගණන් බලා තිබේ. 

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීහූ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Trending

Exit mobile version